විශ්‍රාම වැටුප හා විශ්‍රාමිකයෝ
04 September 2025
විශ්‍රාම වැටුප හා විශ්‍රාමිකයෝ
04 September 2025
ඊයේ පුවත්පත්වල මුල් පිටුවේ ප්‍රවෘත්තියක් වූයේ පෙරේදා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති විශ්‍රාමිකයන්ගේ උද්ඝෝෂණයයි. වාර්තාවල හැටියට ඉන් උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබුණු අතර ආරක්ෂාව සඳහා අතිරේක පොලිස් බළඇණිද කැඳවා තිබුණේය. විශ්‍රාමිකයන් යනු වයස අවුරුදු හැට ඉක්මවූවන් බැවින් කොළඹ නගරයේ උණුසුම් තත්ත්වයක් ඇති කිරීමටද, අතිරේක පොලිස් බළඇණි කැඳවීමටද ඔවුන් මුල්වීම විශේෂය.
රජයේ විශ්‍රාමිකයන්ගේ ප්‍රශ්න රටට අලුත් දෙයක් නොවේ. ඔවුහු නිතර දෙවේලේ විශ්‍රාම වැටුප් ගණන් බැලීමේදී තමන්ට සිදුවී ඇති අසාධාරණයන් ගැන කියන්නේ වැරැද්ද නිවැරදි කරන ලෙස ඉල්ලමිනි. මේ අවස්ථාවේ ගැටලුව මතුවී ඇත්තේ 2020-24 කාල පරිච්ඡේදයේදී විශ්‍රාම ගිය රජයේ සේවකයන්ටය. ඇතැම්විට 2025 ජනවාරියෙන් පසු විශ්‍රාම ගිය පිරිස්වලට තමන්ට වඩා සියයට හැටක, හැත්තෑවකට, වැඩි විශ්‍රාම වැටුප් ලැබෙන බව ඔවුහු කියා සිටිති. දෙසැම්බර් මාසයේ විශ්‍රාම ගිය තැනැත්තාට වඩා කිහිප ගුණයකින් ජනවාරි මාසයේ විශ්‍රාම ගිය තැනැත්තාට විශ්‍රාම වැටුප් වැඩියෙන් ලැබීමේ අවුල විශ්‍රාම වැටුප් සමග එකට බැඳුනකි.
අපේ රටේ එක කාලයක් වැදගත්ම රැකියාව වූයේ රජයේ සේවයයි. යටත් විජිත යුගයේදී ආණ්ඩුවේ රස්සාවක් කිරීමේ වටිනාකමට, ඉන් ලැබෙන විශ්‍රාම වැටුපෙන් වැඩි අගයක් එකතු කෙරුණේය. අද කාලයේද පෞද්ගලික අංශයේ කරමින් සිටි රැකියාවෙන් ලැබුණු වැටුපෙන් දෙකෙන් පංගුවක් පමණක් ලැබෙන රජයේ සේවයට යන උපාධිධාරියෝ අපමණය. විශ්‍රාම වැටුපද ඊට ප්‍රබල හේතුවකි. ඒ සා අගයක් ලැබෙන විශ්‍රාම වැටුපේ විෂමතාවන් අරභයා විශ්‍රාමිකයන් පාරට බැහීම අරුමයක් නොවේ.
එසේ වුවද විශ්‍රාම වැටුප් හැටියට විශ්‍රාමිකයන්ට ලැබෙන්නේ මහ ලොකු මුදලක් නොවේ. එය අද කාලයේ ජීවන වියදමේ හැටියට මාසයක් ගෙවා ගැනීමට යාන්තමින්වත් සෑහෙන්නේ නැත. වරක් රජයේ සේවයේ ඉහළම ස්ථරයට ගොස් විශ්‍රාම ලැබූවකුද අප සමග කියා සිටියේ, ලැබෙන විශ්‍රාම වැටුප ජීවත්වීමට නොසෑහෙන හෙයින් අර්ධ කාලීන රැකියාවකද නිරත වන බවය. විශ්‍රාම වැටුප ඉලක්කම් පහේ ගණනක් වන කෙනකුගේ තත්ත්වයද එසේ නම් සෙස්සන් ගැන අමුතුවෙන් කියන්නට වුවමනාවක් නැත. රජයේ සේවකයන්ගේ ජීවන වියදම් දීමනා වැඩි කරන විට විශ්‍රාමිකයන්ද ඒ වෙනුවෙන් නැගී සිටින්නේ ජීවන බර උසුලා ගැනීමට ඇති අපහසුතාවය නිසාය.
ඒ අතරම සිහියට නැගෙන කාරණයක් වන්නේ විශ්‍රාම වැටුප් ගෙවීම රජයට විශාල වැය බරක් වී ඇති බවය. විශ්‍රාම වැටුප් පමණක් නොවේ, රජයේ සේවකයන්ගේ වැටුප් පවා රජයට ලොකු වැය බරකි. දේශපාලන වුවමනා එපාකම් පිරිමැසීමට රැකියා සැපයීම නිසා රජයේ සේවයේ සිටින අතිරික්ත සේවක සංඛ්‍යාව කිවයුත්තේ ලක්ෂ ගණන්වලිනි. රජය එක පැත්තකින් රජයේ සේවයේ අතිරික්ත පිරිස් ඉවත් කිරීමට කටයුතු කළ යුතුය. එසේම රජයට විශාල වැය බරක් උසුලන්නට සිදුවී
ඇති විශ්‍රාම වැටුප නවීකරණය කිරීමට පියවර ගත යුතුය.
දැන් වැඩිදෙනකුගේ මතකයේ නැතිවාට 1970 සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ආචාර්ය එන්.එම්. පෙරේරා ඒ කාලයේ අලුතින් බැඳෙන රජයේ සේවකයන්ට විශ්‍රාම වැටුප අහිමි කර ඔවුන් සේවක අර්ථසාධක අරමුදලට දායක කළේය. එහෙත් එන්.එම්.ට ආණ්ඩුවෙන් යන්නට වී ෆීලික්ස් ආර්. ඩයස් බණ්ඩාරනායක මුදල් අමාත්‍යවරයා වීමෙන් පසු ඒ තීරණය ආපස්සට හරවා අලුතින් බැඳෙන සේවකයන්ටද විශ්‍රාම වැටුප් ගෙවන්නට පටන් ගත්තේය. එන්.එම්.ගේ තීරණය දිගටම ක්‍රියාත්මක වූයේ නම් අද වන විට රජයේ විශ්‍රාම වැටුප් ලබන පිරිස ඉතා සුළු ප්‍රමාණයක් වන්නට තිබුණේය. අප මේ කියන්නේ නැවත අප එතැනට යායුතු බව නොවේ.
(සේවක අර්ථසාධක අරමුදල වැනි) සේවකයාද දායක වන විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කරන්නේ නම් එය අපේ වැනි බංකොලොත් භාවයේ ගැට්ටේ සිටින රටකට මොනවට ගැළපෙනවා ඇත. අනෙක් අතට විශ්‍රාම වැටුප් රජයේ සේවකයන්ට පමණක් සීමාවීමද බලවත් අසාධාරණයකි. අප හැමදේටම ආදර්ශයට ගන්නා බ්‍රිතාන්‍යයේ පෞද්ගලික අංශයේ කුඩා ආයතනයක සුළු රැකියාවක් කළ පුද්ගලයෙකුට වුවද සිය සේවයේ ආරම්භයේ පටන්ම විශ්‍රාම වැටුපකට දායක විය හැකිය.
විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාවක් ගැන සාකච්ඡා කෙරෙන මේ අවස්ථාවේ එපමණකින් නොනැවතී විශ්‍රාම වැටුප ගැන පුළුල් සාකච්ඡාවකට මුල පිරිය යුතු බව අපේ අදහසයි.