brand logo
logo
හරක් කටා මුදාගන්න පාකිස්ථාන ජාවාරමුන් මෙහෙයුම් අරඹයි

හරක් කටා මුදාගන්න පාකිස්ථාන ජාවාරමුන් මෙහෙයුම් අරඹයි

08 March 2023 | තිස්ස රවීන්ද්‍ර පෙරේරා

නඳුන් චින්තක හෙවත් හරක් කටා සහ කුඩු සලිඳු යන මත්ද්‍රව්‍ය ජාවාරමුන් මැඩගස්කරයේ සිට මෙරටට ගෙන ඒම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහය ගැනීමට රජය තීරණය කර ඇත. ඒ මෙම පිරිස අත්අඩංගුවට ගත් බව නිල වශයෙන් මෙරටට දැනුම් දීමෙන් පසුවය.


වහාම මෙම පිරිස මැඩගස්කර් සිට මෙරටට රැගෙන විත් රැඳවුම් නියෝග මත තබාගෙන ඉදිරි විමර්ශන කිරීමට පියවර ගන්නැයි ජනපති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක අංශ ප්‍රධානීන්ට ඊයේ (7 වැනිදා) පැවැති ජාතික ආරක්ෂක කවුන්සිලයේදී උපදෙස් දී තිබේ.


හරක් කටා ඇතුළු පිරිස මැඩගස්කර් ආරක්ෂක අංශ වෙත මුදල් ගෙවා මුදාගැනීම සඳහා පාකිස්ථාන් මත්ද්‍රව්‍ය ජාවාරමුන් ඊයේ (7දා) වනවිටත් මෙහෙයුම් අරඹා තිබුණු බවද අනාවරණය වී ඇත.


මේ සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන තුනක් ඩුබායි සිට මැඩගස්කරය වෙත යවා ඇතැයි නිල නොවන ආරංචි මාර්ග සඳහන් කළේය. හරක් කටා ඇතුළු පිරිස මුදාගැනීම සඳහා ප්‍රංශයේ සිට නීතිඥවරයකුද පිටත් කර යවා ඇතැයි හෙළිවී ඇත.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙරට ඉන්ටර්පෝල් ශාඛාව දිගින් දිගටම ජාත්‍යන්තර පොලිස් මූලස්ථානය වෙත තොරතුරු ලබාදෙමින් කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මෙම පිරිස කොටුකර ගත් බව ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියකු අනාවරණය කළේය.


මේ අනුව ඊයේ (7දා) වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මැඩගස්කරයට යවා මෙම පිරිස මෙරටට ගෙන ඒම සම්බන්ධවද විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. ඒ සඳහා සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුළු කණ්ඩායමක් සමග පොලිස් විශේෂ කාර්ය බළකායද යැවීමට තීරණය වී ඇත.


කලාපීය වශයෙන් තර්ජනයක් වූ මෙම මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ වූවන් ඉරාන් හා පාකිස්ථාන් අන්තවාදී කණ්ඩායම් සමග පවත්වාගෙන යන සබඳතා පිළිබඳව ආසියාතික රටවල්ද රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ජාත්‍යන්තර පොලිසිය හා මැඩගස්කර රජය දැනුවත් කර ඇත.


ඒ අනුව මෙම සැකකරුවන් ශ්‍රී ලංකාවට භාරදීමට තීරණය කර තිබෙන බවද ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේය.


හරක් කටා ඇතුළු පිරිස මැලේසියාවට යාමේ අදහසින් මැඩගස්කරයට පැමිණි බව දැනට කෙරෙන විමර්ශනවලදී හෙළිවී ඇත. මැලේසියාවට පැන ගොස් යුරෝපයට හෝ වෙනත් රටකට පැන යාම අරමුණ බව හෙළිවී තිබේ. ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින මත්කුඩු ජාවාරමුන් හා පාතාලයන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මගින් මෙරටට භාර ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා තිබිණි.


ඒ අතරේ ඩුබායිහි සිටින ජාවාරම්කරුවන් වෙනත් රටවලට පැන යාමට සැලසුම් කර ඇතැයි ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබී ඇත.


පුද්ගලික ජෙට් යානාවකින් ධන කුවේරයකු ලෙස හරක් කටා ඇතුළු පිරිස මැඩගස්කරයට පැමිණ තිබිණි. හේරත් දිසානායකගේ රොෂාන් ඉසංක නමින් සකස් කළ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයෙන් ඩුබායි සිට මැඩගස්කරය වෙත හරක් කටා පැමිණ ඇත. මොහු ඉකුත් වසරේ අගෝස්තු 19 දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ගුවන් ගතවීමට යන මොහොතේත් අත්අඩංගුවට ගත්තේ රොෂාන් ඉසංක නමින් සැකසූ ගුවන් ගමන් බලපත්‍රයෙන් විදෙස්ගත වීමට යන මොහොතේදීය.


නඳුන් චින්තක හෙවත් හරක් කටා නමින් ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කළද ඔහු රොෂාන් ඉසංක නමින් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සකසාගෙන ඇතැයි ජාත්‍යන්තර පොලිසියේ දත්ත ගබඩාව යාවත්කාලීන කිරීමට මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.


හරක් කටා සමග මැඩගස්කරයට ගිය පිරිසට ඉතියෝපියානු ජාතික අමෛතු මොහොමඩ් නූර් නමැති කාන්තාවක්ද සිටින අතර ඇය හරක් කටාගේ බිරිඳ ලෙස පෙනී සිට ඇත. හේරත් දිසානායකගේ මාසෙල් එතැෂ් නමැති අවුරුද්දකුත් මාස නවයක් වයසැති හරක් කටාගේ දරුවාද සිටින බව හෙළිවී තිබේ.


මේ පිරිසට රාජේෂ් රාජරාම් නමැති ඉන්දියානුවෙක්, ෆ්‍රැක්තෙවිස් පීටර්ස් නමැති දකුණු අප්‍රිකානු ජාතිකයකුද සිටිති. පානදුර රෝහල ළඟදී ගිලන් රථ රියැදුරකුට වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරුවන් දෙදෙනකුද මෙම පිරිස අතර සිටින අතර එක් අයෙක් සරත් කුමාර ලෙස හඳුනාගෙන ඇත.

 

More News..