බැස්ටියන් මාවතේ හදිසි බස්රථ පරීක්ෂාවක්
23 September 2026
බැස්ටියන් මාවතේ හදිසි බස්රථ පරීක්ෂාවක්
23 September 2026
වාහන වායු විමෝචන වැඩසටහන විසින් කොළඹ බැස්ටියන් මාවතේ පුද්ගලික බස් නැවැතුම්පොළේ නවතා තිබූ බස් රථවල මාර්ග යෝග්‍යතාව සහ වායු විමෝචනය පරීක්ෂාකිරීමේ විශේෂ රාත්‍රී මෙහෙයුමකදී පරීක්ෂාවට ලක් කළ බස් රථ 59කින් 39කටම නඩත්තු නියෝග නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
වාහන වායු විමෝචන වැඩසටහන මගින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සහයෝගය ඇතිව මෙම හදිසි පරීක්ෂාව සිදුකර ඇත.
දහවල් කාලයේදී ධාවනයේ නොයෙදෙන සහ පරීක්ෂාවලට හසුනොවන බස් රථ ඉලක්ක කරගනිමින් මෙම විශේෂ රාත්‍රී මෙහෙයුම සංවිධානය කර තිබුණි.
වාහන වායු විමෝචන වැඩසටහනේ නිලධාරීන් විසින් මෙහිදී ඩීසල් වෙනුවට භූමිතෙල් යොදාගනිමින් ධාවනය කළ බස් රථද එහිදී හඳුනාගෙන ඇති අතර, එම බස් රථවල මාර්ග බලපත්‍ර තාවකාලිකව අහෝසි කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.
මේ අතර මෙයට සමගාමීව කිලිනොච්චිය ප්‍රදේශයේ ධාවනය වන බස් රථවල මාර්ග යෝග්‍යතාව පරීක්ෂා කිරීමේ තවත් විශේෂ වැඩසටහනක්ද ඊයේ (22) දහවල් කාලයේදී වාහන වායු විමෝචන වැඩසටහන විසින් ක්‍රියාත්මක කර තිබේ.
මගී ජනතාවගේ ආරක්ෂාව සහ පරිසර ආරක්ෂණය වෙනුවෙන් ධාවනයට නුසුදුසු බස් රථ හඳුනාගැනීමේ මෙම විශේෂ පරීක්ෂණ සතිපතා අඛණ්ඩව සිදු කිරීමට වාහන වායු විමෝචන වැඩසටහන විසින් සැලසුම් කර ඇත.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සමඟ එක්ව ඉදිරියේදී මෙම වැඩසටහන දිවයින පුරා සතිපතා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

