අද රටේ නායකකමක් තියෙන අය අඩුයි - නාරම්පනාවේ හිමි
26 July 2026
අද රටේ නායකකමක් තියෙන අය අඩුයි - නාරම්පනාවේ හිමි
26 July 2026
අද වන විට රටේ නායක නාමය දරන පුද්ගලයන් කොපමණ සිටියත්, ඔවුන් තුළ සැබෑ නායකත්ව ලක්ෂණ නොමැති වීම ගිහි මෙන්ම පැවිදි සමාජයම මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් වී ඇතැයි කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ශ්‍රී ආනන්ද නාහිමියෝ ප්‍රකාශ කරති.
නායකත්වයක් ලැබෙනුයේ පුද්ගලික බැබලීමට නොව, එම පදවියට අදාළ ශාසනික, ආගමික සහ සමාජයීය කාර්යභාරයන් මැනවින් ඉටු කිරීමට බව උන්වහන්සේ අවධාරණය කරති.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ වත්තේගම, මීගම්මන රජමහා විහාරාධිපති පූජ්‍ය මානින්ගමුවේ පියරතන නාහිමිපාණන් වහන්සේ වෙත 'පහත දුම්බර ප්‍රධාන සංඝනායක' පදවිය පිළිබඳ අක්ත පත්‍ර ප්‍රදානය කිරීම වෙනුවෙන් එම විහාරස්ථානයේ පැවැති ආගමික උත්සවයකට එක්වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අනුනායක හිමියෝ, වර්තමානයේ සම්බුද්ධ ශාසනය තුළ විවිධ අර්බුද උද්ගතව ඇති බව පෙන්වා දුන්හ.
භික්ෂු වේශයෙන් පෙනී සිටින ඇතැමුන් බුදුදහමේ හරය සහ ඉගැන්වීම් අත්තනෝමතික ලෙස විකෘති කරමින් දේශනා පවත්වන බවත්, ඔවුන් මහා නායක හිමිවරුන්ට පවා අවනත නොවී කටයුතු කරන බවත් උන්වහන්සේ පැවසූහ.
මෙවැනි ක්‍රියා පිටුපස අභ්‍යන්තර මෙහෙයවන්නන් සිටිය හැකි බවත් භික්ෂු ප්‍රතිරූපකයන්ගෙන් ශාසනය රැකගැනීමේ වගකීම මහා සංඝරත්නයට පමණක් තනිව කළ නොහැකි අතර ඒ සඳහා රජයට සහ රටේ ජනතාවට විශාල වගකීමක් ඇති බවත් උන්වහන්සේ අවධාරණය කළහ.
මෙම පින්කමට සමගාමීව, දෙස් විදෙස් ආධාර මත රුපියල් මිලියන 30ක වියදමින් මීගම්මන රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ ධර්මශාලා මන්දිරය විවෘත කිරීමද සිදු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා අස්ගිරි මහා විහාර පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද, නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය මුරුද්දෙණියේ ධම්මරතන, ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික පූජ්‍ය ගොඩගම ශ්‍රී මංගල යන නාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයද, ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු ගිහි පැවිදි ආරාධිත පිරිසක් විශාල වශයෙන් සහභාගි වී සිටියහ.

