විකුණාගන්න බැරි ඉඩම් යාතිකා බලයෙන් විකුණන හොර කපුවෙක් අත්අඩංගුවට
11 September 2026 | •බිමල් ජයසිංහ - බණ්ඩාරගම
විකුණාගන්න බැරි ඉඩම් යාතිකා බලයෙන් විකුණන හොර කපුවෙක් අත්අඩංගුවට
11 September 2026 | •බිමල් ජයසිංහ - බණ්ඩාරගම
විකුණාගත නොහැකි ඉඩම් හා නිවාස යාතිකා බලයෙන් විකුණාදිය හැකි බව පවසා පුද්ගලයන් බොහෝ දෙනකු රවටා රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුතු රන් භාණ්ඩ සොරාගෙන ගිය කපුවකු යැයි කියාගන්නා පුද්ගලයකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු එලෙස වංචා සහගතව ලබාගත් බව කියන පවුම් හතළිහකට අධික රන් භාණ්ඩ පොලිසිය මගින් සොයාගෙන ඇත.
තම නිවෙස සහ ඉඩම විකිණීමට ඇති බවට සතිඅන්ත පුවත්පත්වල දැන්වීම් පළ කරන කාන්තාවන් ඉලක්ක කර සැකකරු මෙම වංචාව දීර්ඝ කාලයක සිට සිදුකර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මිරිහාන ප්‍රදේශයේ කාන්තාවක තම ඉඩම සහ නිවෙස විකිණීමට ඇති බවට සතිඅන්ත පුවත්පතක අවස්ථා කිහිපයකදී දැන්වීම් පළකර තිබිණි. සැකකරු ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිට එම කාන්තාවගේ දුරකථනයට ඇමතුම් ලබාගෙන දුර බැහැර ප්‍රදේශයක ප්‍රසිද්ධ දේවාලයක නමක් පවසා එම දේවාලයේ කලක් කපුවකු ලෙස කතා කර ඇත.
‘‘ඇයගේ නිවෙස සහ ඉඩම කාලයක් තිස්සේ විකිණීමට නොහැකිව තිබෙන බව තමන්ට දේව බලයෙන් පෙන්නුම් වන බවත් එම ඉඩම කඩිනමින් විකිණීමට යාතිකාවක් කරදිය හැකි බවත් එම කාන්තාව හමුවේ සැකකරු පවසා ඇතැයි සඳහන්ය.
සැකකරුගේ කතා විලාසයට රැවටී ඇති කාන්තාව එම පුද්ගලයා නිවෙස වෙත ගෙන්වා විස්තර විමසීමේදී ඔහු විසින් ඒ සඳහා රුපියල් ලක්ෂ පහක මුදලක් අවශ්‍ය බව පවසා තිබේ. ඊට කැමැත්ත පළකර තිබූ කාන්තාව ඒ සඳහා දිනයක් ද සැකකරුගෙන් වෙන් කරවාගෙන යාතිකාව සඳහා අවශ්‍ය සියල්ල සූදානම් කර ඇතැයි පොලිසිය සඳහන් කළේය.
කතිකා කරගත් පරිදි නිවෙසට පැමිණ තිබූ සැකකරු ඔහු ලබා දුන් බඩු ලැයිස්තුවේ වූ කුඩා මුට්ටියට නිවසේ රන් භාණ්ඩ හතක් හෝ තුනක් දමා රතු හෝ සුදු පැහැති අඩියක් පමණ දිගැති රෙද්දක් සමග රැගෙන එන ලෙස පවසා ඇත. අනතුරුව එම කාන්තාව ඉදිරියේම එය මනා ලෙස ආවරණය කර බුලත් සහ මල්වලින් සලසන ලද යාතිකා කිරීමට සකසා ගත් මල් යහන මත තබා පැය කිහිපයක් යාතිකා කර දින 21ක් ගතවීමෙන් අනතුරුව නිවෙස තුළ සහ ඉඩමට පැන් ඉස 21 වැනි දිනයේදී මුට්ටිය තුළට දමන ලද රන් භාණ්ඩ ගන්නා ලෙස කාන්තාවට පවසා තිබේ.
එයින් දින 14ක් ගතවෙද්දී ඉඩම මිලදී ගැනීම සඳහා ගැනුම්කරුවකු නිසැකවම පැමිණෙන බව පවසා පොරොන්දු වූ මුදල් ද රැගෙන පිටවී ගොස් තිබූ බව පොලිසිය සඳහන් කළේය.
සැකකරු පැවසූ පරිදි නිවෙස් හිමි කාන්තාව කටයුතු කර ඇති අතර වළදැමූ මුට්ටිය ගොඩ ගත්තද එතුළට දැමූ රන් භාණ්ඩ තිබී නැත. එසේම නිවෙස මිලදී ගැනීමට ද කිසිවකු පැමිණ නොතිබිණි.
අනතුරුව මේ සම්බන්ධයෙන් එම කාන්තාව මිරිහාන පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලට අදාළව විමර්ශන සිදුකිරීමේදී මෙවැනිම සිදුවීමකට අදාළ පැමිණිල්ලක් වැලිකඩ පොලිසියේ ද සටහන්ව ඇති බව අනාවරණය වී ඇත. පසුව එම පැමිණිලි දෙක ගැනම පොලිස් පරීක්ෂක ලීලාරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පූර්ණ විමර්ශනයක් සිදුකර තිබේ.
ඒ අනුව පොලිස් සැරයන් ඒකනායක (24212) වෙත ලද තොරතුරකට අනුව බිංගිරිය, තලගහවත්ත ටොප්සිටි වත්ත නිවෙසක සැඟව සිටියදී සැකකාර කපුවා අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මේ ආකාරයෙන් මිරිහාන පොලිස් වසමේ තවත් කාන්තාවක රවටා රන් භාණ්ඩ වංචා කිරීම, වැලිකඩ පොලිස් වසමේදී රුපියල් ලක්‍ෂ 08කට ආසන්න වටිනාකමක් ඇති රන් භාණ්ඩ වංචා කිරීම, පිළියන්දල, වරකාපොළ සහ කුරුණෑගල පොලිස් වසම්වලදී ද එලෙසම යාතිකා කරන බව පවසා වංචා කිරීම් කිපයකටම ඔහු සම්බන්ධ බවට අනාවරණය වී ඇත.
යාතිකා කරන අතවාරයේදී සැකකරු විසින් සූක්ෂම ලෙස සඟවාගෙන සිටි රතු හෝ සුදු පැහැති රෙද්දකින් ආවරණය කරන ලද කුඩා මුට්ටියක් මල්යහන මත තබා රන් භාණ්ඩ තබා තිබෙන මුට්ටිය සඟවාගෙන තිබූ බව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූයේ යැයි පොලිසිය සඳහන් කළේය.
එම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී එලෙස වංචා සහගතව ලෙස ලබාගත් සියලුම රන් භාණ්ඩ මට්ටක්කුලිය ප්‍රදේශයේ පුද්ගලයකු වෙත විකුණූ බවට අනාවරණය වීමෙන් අනතුරුව එම පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
කපුවකු ලෙස පෙනී සිටි සැකකරු 54 හැවිරිදි අයකු වන අතර අනෙක් පුද්ගලයා 36 හැවිරිදි පුද්ගලයකි. එම සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.ජී.ජේ. කහටදෙණියගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ලීලාරත්න, පොලිස් සැරයන් ඒකනායක (24212), පොලිස් කොස්තාපල්වරු වන කුමාර (94555), අළුදෙණිය (94977), විදුරංග (107163), අසරසිංහ (16214) යන නිලධාරිහු පරීක්ෂණ පවත්වති.
© 2026 All Rights Reserved. Powered by Summit

