ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රතිසංස්කරණය කළ රන් වියන නිරාවරණය කෙරේ
20 November 2026
ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රතිසංස්කරණය කළ රන් වියන නිරාවරණය කෙරේ
20 November 2026
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති විශේෂ කුටියට ඉහළින් ඉදිකර ඇති රන් වියන, ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව අද (20දා) පෙරවරුවේ සුබ මොහොතින් නිරාවරණය කළේය.
මෙම සුවිශේෂී කුටියට සෙවන දෙමින් ඊට ඉහළින් ඉදිකර තිබෙන මෙම රන් වියනෙහි ප්‍රතිසංස්කරණ කටයුතු විශ්ව පාරමි පදනමේ මූලිකත්වයෙන් 2025 වසරේදී ආරම්භ කර තිබුණි.
ශ්‍රී දළදා මාලිගයේ අභ්‍යන්තරය සහ ඉදිරිපස ප්‍රදේශය අලංකාර කිරීමත්, දන්ත ධාතුන් වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙනුත් 1987 වසරේදී එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා මෙම රන් වියන සාදවා පූජා කරන ලදී.
මෙය නිර්මාණය කිරීම මෙන්ම එහි මූලික සැලසුම් සකස් කිරීම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් සිදු කළහ. ඒ සඳහා දේශීය මෙන්ම විදේශීය ඉංජිනේරු කණ්ඩායම්වල සහාය ලැබී තිබුණි.
ශ්‍රී දළදා මාලිගාවේ අනන්‍යතාවක් වූ මෙම රන් වියන, දෙස් විදෙස් බැතිමතුන්ගේ සහ සංචාරකයන්ගේ විශේෂ අවධානයට ලක්වන අතිශය අලංකාර හා වාස්තු විද්‍යාත්මක වැදගත් නිර්මාණයක් ලෙස සැලකේ.
රන් වියනෙහි තිබූ රන්පත් පියළි අවර්ණ වී ක්ෂය වී තිබූ අතර, ඒ හේතුවෙන් රන් වියනේ පෙර තිබූ දිස්නය හා අලංකාරය ක්‍රමයෙන් අඩු වෙමින් පැවතුණි. මෙය මීට පෙර 2002 සහ 2018 වර්ෂවලදීද ප්‍රතිසංස්කරණය කර තිබුණි.
මෙවර අතිනවීන ඉංජිනේරු තාක්ෂණයෙන් හා රන් ක්ෂේත්රය පිළිබඳ විද්වත් වෘත්තිකයන්ගේ සහයෝගයෙන් මල්වතු හා අස්ගිරි උභය මහා විහාරයන්හි මහානායක හිමිවරුන්ගේ අනුශාසනා පරිදි ප්‍රතිසංස්කරණය කර ඇත.
දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ මූලිකත්වයෙන් තායිලන්තයේ වට් මාර්ප් ජෑන් ආරාමයේ දායකත්වයෙන්, කැරට් 24 රන් පියළි අතුරා මෙවර රන් වියන ප්‍රතිසංස්කරණය කර තිබීම සුවිශේෂීය.
නිරාවරණය කිරීමේ අවස්ථාවට අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන, මල්වතු මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පූජ්‍ය මහවෙල රතනපාල ප්රමුඛ මල්වතු අස්ගිරි මහා සංඝරත්නය, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ඇතුළු ආරාධිතයෝ රැසක් එක්ව සිටියහ.


