කෑගල්ලේ ජනගහනය ලක්ෂ 8යි රිළවුන් ලක්ෂයයි
25 January 2023 | හේමන්ත ලියනපතිරණ
කෑගල්ලේ ජනගහනය ලක්ෂ 8යි රිළවුන් ලක්ෂයයි
25 January 2023 | හේමන්ත ලියනපතිරණ
කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස එකොළහ තුළ රිළවුන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් සිටින බවට අනාවරණය කරගෙන තිබේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනගහනය ලක්ෂ අටකි. බහුතර ජනතාව ගොවිතැන් කටයුතුවල නිරත වේ. රිළවුන්ගේ ගහනය අධිකවීම හේතුවෙන් ජනතාවගේ වගා හානි ප්‍රතිශතය සියයට හතළිහක් දක්වා ඉහළ ගොස් තිබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කරුණු අනාවරණය කරගෙන ඇත.
පොල් වගාවට දැඩි ලෙස මෙම රිළවුන් හානි කිරීම හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ පොල් මිලද ඉහළ ගොස් තිබේ.
රිළවුන් කපුටු බිත්තර ආහාරයට ගන්නා හෙයින් මේ වනවිට කපුටන්ද වඳවී යාමේ තත්ත්වයකටද මුහුණ පා ඇත. ලේනුන්, විවිධ කුරුලු වර්ගද මෙම රිළවුන්ගේ ආහාර බවට පත්වීම හේතුවෙන් පරිසර සමතුලිතභාවය බිඳී යාමේ තර්ජනයකට මුහුණ පා තිබේ.
වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රිළවුන් ගහනය විසිපන්දහස ඉක්මවන බවටද කරුණු හෙළිවී ඇත.
රිළවුන් පැමිණි විට නිවෙස්වල සිටින සුනඛයන් විසින් සපා කෑමට තැත් කිරීමේදී එම රිළවුන් රංචු විසින් සුනඛයාගේ වල්ගයෙන් අල්ලා උස් ස්ථානවල සිට බිමට පතිත කරන බව ප්‍රදේශවාසීහු පවසති.
නිවෙස් තුළට පැමිණෙන රිළව් රංචු බත් මුට්ටි පවා රැගෙන යාමට පුරුදු වී සිටී. නිවෙස්වල වහලවලට පැනීම හේතුවෙන් බොහෝ පිරිසකගේ වහලවල්වලට දැඩි හානි සිදුවී ඇත.
කෑගල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්දගෙන් මේ සම්බන්ධව විමසීමේදී ප්‍රකාශ කළේ වගා හානි අවම කරගැනීම උදෙසා මේ වනවිට ගිනි අවි 2,000 කට අධික ප්‍රමාණයක් ලබාදී ඇති බවයි. එසේම දැනට වසර 4 කට පෙර රිළවුන්ගේ ගහනය 76,000 ක් පමණ වූ බවද හෙතෙම පැවැසීය. මෙම ගැටලුවට පිළියම් සෙවීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බවද වැඩිදුරටත් ඔහු පැවැසීය.
කෑගල්ල දිස්ත්‍රික් වැඩබලන දිස්ත්‍රික් ලේකම් චරිතා ඉලංගකෝන් පවසන්නේ සියයට 40 ක වගා හානියක් තිබීම සැලකිය යුතු ප්‍රශ්නයක් ලෙස හඳුනාගෙන තිබෙන බවය. මේ වනවිට පාර්ශ්ව රැසක් සමග එක්ව සාකච්ඡා කරමින් මෙම ගැටලුවට නිසි විසඳුම් සෙවීමේ කටයුතුවල නිරත වී සිටිනවා යැයිද ඇය කීවාය.