විපක්ෂ නායකකමට හොඳ කවුද ?
03 October 2026
විපක්ෂ නායකකමට හොඳ කවුද ?
03 October 2026
බිරිඳ පැමිණ මගේ ළඟින් වාඩිවී බැරෑරුම් කතාවකට සූදානම් මුහුණක් පෑවාය.
"ඇයි ඔයා සජිත් බබාට ඔහොම වෙනස්කම් කරන්නෙ?" එසේ අසමින් ඕ කතාව ඇරඹුවාය. "ඉඳල හිටල ඒ මනුස්සය ගැනත් මානිගෙ තීරුවක් ලියන්නකො"
මට බිරිඳ ගැන අනුකම්පා සිතුණේය.
"නෝනා, මම මේක ලියන්නෙ රටේ එක එකාව උපහාසෙට ලක්කරන්නනෙ" මම ඇයට පහදා දෙන්නට වූයෙමි. "එහෙව් එකේ රටේම හිනාවට ලක්වෙන අසරණයට මාත් හිනාවෙන කොට හරි නෑනෙ"
බිරිඳද එය තේරුම් ගත් බව ඇගේ මුහුණෙන් පෙනුණේය.
"විපක්ෂෙට හොඳ නායකයෙක් හිටිය නම් සජිත් බබා මෙහෙම විහිළුවට ලක්වෙන්නෙ නෑනෙ" බිරිඳ එවර කියා සිටියාය. "ඔයා හිතන්නෙ කවුරු විපක්ෂ නායක වුණා නම්ද රටට හොඳ"
"අපේ රටට අහිමි වෙච්ච හොඳම විපක්ෂ නායකයා තමයි අනුර කුමාර දිසානායක" මම ඇයට කියා සිටියෙමි. "මේ රටේ මෝඩ මිනිස්සුන්ට තාමත් තේරෙන්නෙ නෑ තමන් ඒ නැති කරගත්තෙ මොන තරම් වටිනා විපක්ෂ නායකයෙක්ද කියල"
මගේ පිළිතුර බිරිඳට දිරෙව්වේ නැත.
"මැන්ටල්ද හලෝ?" ඕ ඇසුවාය. "ලයිෆ් ටයිම් ජනාධිපති වෙලා ඉන්න මනුස්සයා විපක්ෂ නායක වුණා නම් හොඳයි කියන්නෙ තේරුමක් නැති කතාවක්නෙ"
මම බිරිඳට කරුණු කාරණා විස්තර කරන්නට වූයෙමි.
"ජනාධිපති අනුර කුමාර දිසානායක වගේ නෙවෙයිනෙ නෝනා, විපක්ෂෙ හිටපු අනුර කුමාර දිසානායක" මම බිරිඳට පැහැදිලි කළෙමි. "මෙයා වගේ නෙවෙයි එයා රටේ හැම ප්‍රශ්නෙකටම ස්ථිරසාර විසඳුම සහසුද්දියෙන් දැනගෙන හිටියා. දැන් රටට ඕන එහෙම කෙනෙක්"
"ඕවා හිස් බස්නෙ හලෝ" බිරිඳ අවඥාවෙන් කියා සිටියාය. "වෙන්නැති දේවල් කතාකරල වැඩක් නෑනෙ"
ටෙලිෆෝනයක් ඔබන අතරේ කතාවට ඇහුම්කන් දෙමින් සිටි අපේ මුනුබුරා මෙහිදී ඊට කෙළින්ම සම්බන්ධ වූයේය.
"ඔය වැඩේට ප්‍රැක්ටිකල් විසඳුමක් තියෙනවා සීයෙ" කොල්ලා මට කියා සිටියේය. "දැන් ඔය මූවීස්වල වගේ අපේ ප්‍රසිඩන්ට්, ඩබල් ඇක්ටින් කරා නම් ඔය රෝල්ස් දෙකම එක සැරේ කරන්න පුළුවන්"
මම වහාම මුනුබුරාට පහක් දැමුවෙමි.
"අන්න වැඩේ. ජනාධිපතිතුමාට පුළුවන් එක සුමානයක් විපක්ෂ නායක වෙලා, ඊළඟ සුමානෙ ජනාධිපති වෙලා ඉන්න" මම බිරිඳට පෙන්වා දුනිමි. "විපක්ෂ නායක සුමානෙදි උන්නැහේට පුළුවන් රටේ හැම ප්‍රශ්නෙටම විසඳුම් දෙන හැටි අන්තිම රුපියලට, මීටරේට, ලීටරේට ගණන් හදල කියන්න. ඊළඟ සුමානෙදි ජනාධිපති හැටියට එතුමාට පුළුවන් විපක්ෂ නායක පෙන්නල දීපු ක්‍රමේට රටේ ප්‍රශ්න විසඳන්න"
බිරිඳ නොමනාපයෙන් අප දෙස බැලුවාය.
"විකාර! මේක චිත්‍රපටියක් නෙවෙයිනෙ ඔහොම දේවල් කරන්න" ඈ කියා සිටියාය. "අනික ජනාධිපතිතුමා කැමැති වෙයිද නළුවෙක් වගේ ඩබල් ඇක්ටින් කරන්න."
"ඇයි නැත්තෙ? එතුමා සතුටින් කැමැති වෙයි "මම වහාම කියා සිටියෙමි." එතුමා කොහොමටත් හරි දක්ෂයිනෙ ඩබල් ඇක්ටින්වලට, ඩබල් ටෝක්වලට"
සුන්දර නිහතමානි ද මැල්

