brand logo
logo
මහලු ට්‍රම්ප් ලෝකෙට හයිය පෙන්නයි

මහලු ට්‍රම්ප් ලෝකෙට හයිය පෙන්නයි

09 September 2026 | පවිත්‍රා මධු හර්ෂණී

ඉකුත්දා යෙදී තිබුණු එක්සත් ජනපදයේ ‘කම්කරු දින’ නිවාඩුව ගත කරමින් ජනාධිපති ට්‍රම්ප්, මුළු පෘථිවිය මෙන්ම බාහිර අභ්‍යවකාශය ද තම ග්‍රහණයට ගන්නා ආකාරය දැක්වෙන කෘත්‍රිම බුද්ධිය මගින් නිර්මාණය කරන ලද ඡායාරූප රැසක් සිය ‘ටෲත් සෝෂල්’ සමාජ මාධ්‍ය ගිණුමට එක් කිරීමට පියවර ගෙන තිබේ.


ඒ අනුව ඉකුත් සඳුදා දිනයේදී ට්‍රම්ප් විසින් උතුරු ඇමරිකානු කලාපයේ සිතියමක් මුදාහැර ඇති අතර, එහි කැනඩාව සහ මෙක්සිකෝව ද එක්සත් ජනපදයට ඈඳාගෙන ඇති ආකාරයත්, සමස්ත කලාපයම ඇමරිකානු ජාතික කොඩියේ වර්ණයන්ගෙන් අලංකාර කර ඇති ආකාරයත් දක්නට ලැබිණි.

මීට අමතරව, එක්සත් ජනපදයේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තය නිව් ඇමරිකා ලෙස නැවත නම් කළ යුතු බවට හඟවන සටහන් කිහිපයක්ම ඔහු පළ කර තිබූ අතර, එම නව නාමය සහිත විවිධ සිතියම් ද ඊට ඇතුළත් කර තිබුණේය.


තවත් ඡායාරූප සටහනක් මගින් ජනාධිපතිවරයා අභ්‍යවකාශයේ පිහිටි චන්ද්‍රයා ද එක්සත් ජනපදයට අයත් භූමියක් ලෙස හිමිකම් පෑමට උත්සාහ කර තිබිණි.


විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ ඉකුත් ඉරිදා දිනයේ පැය 10ක කාලයක් තුළ පමණක් මෙවැනි සටහන් 40 ක් පමණ හුවමාරු කර ඇති ට්‍රම්ප් ඉකුත් සඳුදා දිනයේදී ද නොකඩවා විවිධ මාතෘකා ඔස්සේ මෙලෙස AI තාක්ෂණයෙන් නිපදවන ලද මතප්‍රචාරාත්මක ඡායාරූප සහ සටහන් ප්‍රසිද්ධ කිරීමට කටයුතු කර තිබූ බවයි.


එමෙන්ම තමන් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම නායකයා ලෙස ප්‍රකාශ කිරීම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම සමාජ මාධ්‍ය මෙහෙයුමේ තවත් එක් ප්‍රධාන තේමාවක් විය.


එක්සත් ජනපද ජනාධිපතිවරුන්ගේ ශ්‍රේණිගත කිරීමක් හුවමාරු කරගනිමින්, ඒබ්‍රහම් ලින්කන්, ජෝර්ජ් වොෂින්ටන්, ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට්, තෝමස් ජෙෆර්සන් සහ ඇන්ඩෲ ජැක්සන් වැනි විශිෂ්ට නායකයන් ද පරදවමින් ඔහු තමන්ව "විශිෂ්ටතමයා" ලෙස එහි ඉහළින්ම සටහන් කර තිබේ.


කෘත්‍රිම බුද්ධිය (AI) මගින් නිර්මාණය කරන ලද තවත් ඡායාරූපයක දැක්වෙන්නේ, හිටපු ජනාධිපති බරැක් ඔබාමා කැඩපතක් දෙස බලා සිටින අතර, එහි ප්‍රතිබිම්බය ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රූපය දිස්වන ආකාරයයි.


"ලොව විශිෂ්ටතම ජනාධිපතිවරයා කවුද?" යනුවෙන් ඊට යටින් සටහන් කර තිබිණි.

මීට අමතරව, WWE මල්ලවපොර පිටියේ සුපිරි තරුවක වූ හල්ක් හොගන් සමග ට්‍රම්ප් අතින් අල්ලා ශක්තිය මැනබලන ආකාරයේ ඡායාරූපයක් ද එහි විය.


මෙම බොහොමයක් ඡායාරූප මගින් ට්‍රම්ප්ව අතිශය බලපරාක්‍රමයෙන් යුතු චරිතයක් ලෙස ඉස්මතු කිරීමට උත්සාහ කර ඇත.


එක් ඡායාරූපයක Space Force ලෙස සටහන් කළ රොකට්ටුවක පාලන පුවරුව අසල ඔහු දැවැන්ත ලෙස නැගී සිටින අයුරු පෙන්නුම් කරයි.


එමෙන්ම වොෂින්ටනය සහ කැනඩාව අතර පවතින වෙළෙඳ යුද්ධය වැනි වත්මන් පුවත් ද මෙම ඡායාරූපවලට තේමා වී තිබේ.


කාටූන් ස්වරූපයෙන් නිපදවන ලද එක් ඡායාරූපයක, ඇමරිකානු හිම හොකී කණ්ඩායමේ නිල ඇඳුමෙන් සැරසුණු ට්‍රම්ප්, මතුපිට හිම තට්ටුව මත ඇදවැටී සිටින කැනඩා අගමැති මාක් කාර්නි දෙස අභියෝගාත්මකව බලා සිටියි.


තවත් ඡායාරූපයක දැක්වෙන්නේ ඕවල් කාර්යාලයේ පිහිටි නිල මේසය මත සිටින ජනාධිපතිවරයා ඉදිරියේ ඇති පරිගණක තිර කිහිපයක කොටස් වෙළෙඳපොළ මිල ගණන් සටහන් වී ඇති ආකාරයයි.


"මා ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් කොටස් වෙළෙඳපොළෙන් සහ වෙනත් ආයෝජන මගින් ඩොලර් බිලියන සිය ගණනක් උපයා දී තිබෙනවා. ඒ මා වෙනුවෙන් නෙමෙයි. නමුත් මට ලැබෙන්නේ රැඩිකල් වාමාංශික ඩිමොක්‍රටිකයන්ගේ විවේචන විතරයි," යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් සිය කෝපය පළ කර තිබිණි.

අසල්වැසි උතුරු ඇමරිකානු මිත්‍ර රටවල් සමඟ පවතින වෙළෙඳ යුද්ධය තවදුරටත් උග්‍ර කරමින්, විධායක නියෝග මගින් 'මෙක්සිකෝ බොක්ක' සහ 'ඔන්ටේරියෝ විල' පිළිවෙලින් 'ඇමරිකා බොක්ක' සහ 'ඇමරිකා විල' ලෙස නැවත නම් කිරීමට ද ඔහු පියවර ගෙන ඇත.


නිව් මෙක්සිකෝ'ප්‍රාන්තයේ නම වෙනස් කරන ලෙස බොහෝදෙනකු යෝජනා කළ බවත්, එම විශාල හැකියාවන් සහිත ප්‍රාන්තයේ ජනතාවට එම නව නාමය වඩාත් ගෞරවාන්විත මෙන්ම සුන්දර එකක් වනු ඇති බවත් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.


කෙසේ වෙතත්, ඩිමොක්‍රටික පාලනයේ පවතින නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ නම වෙනස් කිරීමට දැක්වූ මෙම යෝජනාවට එරෙහිව එහි නායකත්වයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.


නිව් මෙක්සිකෝහි ඩිමොක්‍රටික් ආණ්ඩුකාරවරිය වන මිෂෙල් ලුහාන් ග්‍රිෂම් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ඊට පිළිතුරු දෙමින් සටහන් කර තිබුණේ, "නිව් මෙක්සිකෝවේ නම පිළිබඳව සංවාද පවත්වන්න අවශ්‍ය නැහැ. එක්සත් ජනපදය නිර්මාණය වෙන්නත් කලින් ඉඳන්ම ඒ නම අපිට හිමි දෙයක්" යනුවෙනි.

ඇමරිකානු පවුල්වල සුබසාධනය උදෙසා ඩිමොක්‍රටික් පක්ෂයේ ක්‍රියාකාරීන් සිදුකරන වැඩපිළිවෙළ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය, ධවල මන්දිරය සිතියම්වල පාට ගාමින් කාලය නාස්ති කරද්දී, නිව් මෙක්සිකෝව ජනතාව වෙනුවෙන් වැඩ කරන බව ද සඳහන් කළාය.


80 වැනි වියෙහි පසුවන ජනාධිපතිවරයා සිය මතවාද ප්‍රකාශ කිරීමට, විවේචකයන්ට ප්‍රහාර එල්ල කිරීමට මෙන්ම තමන් සිත්ගත් යමක් පළ කිරීමට නිතිපතා සිය සමාජ මාධ්‍ය ගිණුම භාවිත කරයි.

 

More News..