TIN ගන්න ජනතාව පොරකති
03 November 2026 | සාලිය කුමාර ගුණසේකර
TIN ගන්න ජනතාව පොරකති
03 November 2026 | සාලිය කුමාර ගුණසේකර
ටින් අංකය (බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය) ලබා ගැනීම සඳහා ඊයේ (02 වැනිදා) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට සහ ප්‍රාදේශීය කාර්යාලවලට දහස් සංඛ්‍යාත පිරිසක් පැමිණීම නිසා ප්‍රධාන කාර්යාලයයේ සහ ප්‍රාදේශීය කාර්යාලවල අධික තදබදයක් ඇතිවී තිබිණි.
බැංකුවක හෝ මූල්‍ය ආයතනය යම් ගිණුමක් විවෘත කිරීම, මෝටර් වාහන බලපත්‍රය ඇතුළු කිරීම ඇතුළු කාර්යයන් අටකදී ටින් අංකය (බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය-TIN) පෙරේදා (01 වැනිදා) සිට පරීක්ෂා කෙරෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පසුගියදා නිවේදනය කළේය.
ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබා ගැනීම, මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීම, ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කිරීම, ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම, ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීම පැවරුම්ලාභියකු සහ පැවරුම්කරුවකු විසින් සිදු කරනවිට, ණය කාඩ්පතක් ලබා ගැනීම ආදී කටයුතුවලදීද ටින් අංකය පරීක්ෂා කෙරේ.
වයස අවුරුදු 18 ට වැඩි සෑම පුද්ගලයකු විසින්ම ටින් අංකය ලබාගතයුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු කියා සිටියේ ටින් අංකය ප්‍රමාදවී ලබාගත්තා යැයි කියා දඩ මුදලක් අය නොකෙරෙන බවය. සමාජ මාධ්‍ය තුළ වැරැදි ප්‍රචාර හුවමාරුවීම නිසා බොහෝ දෙනකු ටින් අංකය ලබා ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට සහ ප්‍රාදේශීය කාර්යාලවලට පැමිණ සිටි බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු පැවසුවාය.
යම් බැංකු ගිණුමක් විවෘත කිරීමේදී එම පුද්ගලයා සතුව ටින් අංකය නොමැති නම්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සම්බන්ධකර එම අංකය ලබාදීමට කටයුතු කරන ලෙස බැංකුවලට උපදෙස් ලබාදී තිබෙන බවද කොමසාරිස් ජනරාල්වරිය කීවාය.
ටින් අංකය ලබා ගැනීමට අදාළව හදිසි කලබලයක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවද ඇය පැවසුවාය. මේ වනවිට වයස අවුරුදු 18 ට වැඩි මිලියන 13 කට පමණ ටින් අංකය නිකුත් කර තිබෙන බවද ඇය සඳහන් කළාය.

