'බූලෝ' කුණාටුවෙන් බ්රිතාන්යයටත් දැඩි බලපෑම්
25 October 2026
'බූලෝ' කුණාටුවෙන් බ්රිතාන්යයටත් දැඩි බලපෑම්
25 October 2026
'බූලෝ' කුණාටුව හේතුවෙන් එංගලන්තය හා ස්කොට්ලන්තය ඇතුළු එක්සත් රාජධානියේ ප්රදේශ රැසකට දැඩි බලපෑම් එල්ල වී තිබේ. තද වැසි මෙන්ම පැයට සැතපුම් 85ක් දක්වා වූ ඉතා ප්රබල සුළං තත්ත්වයන්ටද මුහුණදීමට සිදුව ඇත.
විදෙස් වාර්තාවන්ට අනුව ස්කොට්ලන්තයේ බටහිර වෙරළ පිහිටි මැක්රිහානිෂ් සහ වයිට් දූපත අසල පිහිටි 'ද නීඩ්ල්ස්' ප්රදේශවලින් මෙවර කුණාටු සමයේ ඉහළම සුළං වේගයන් වාර්තා වී තිබේ.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ස්කොට්ලන්තය සහ උතුරු එංගලන්ත ප්රදේශ සඳහා අද (25) දිනය පුරා ක්රියාත්මක වන පරිදිත් උතුරු අයර්ලන්තය සඳහාත් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
මෙම සතිය තුළ බ්රිතාන්යයට බලපෑ දෙවන නම් කරන ලද කුණාටුව මෙය වන අතර, අයහපත් කාලගුණය හේතුවෙන් බිඳ වැටුණු විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා විශාල පරිශ්රමයක් දැරීමට සිදුව ඇති බව විදෙස් මාධ්ය සඳහන් කරයි.
එරට වේලාවෙන් අද උදෑසන විටත් නිවාස සහ පරිශ්ර 10,860කට විදුලි සැපයුම සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ.
කෙසේ නමුත් කුණාටුව ආරම්භ වූ අවස්ථාවේ සිට මේ දක්වා බලපෑමට ලක් වූ නිවෙස් 124,000කට වැඩි සංඛ්යාවක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇත.
තද සුළං, විදුලි බිඳ වැටීම්, සුන්බුන් විසිරීයාම්, ගොඩනැගිලි සහ ගස් කඩාවැටීම්, ගමනාගමන බාධා මෙන්ම විශාල මුහුදු රළ නිසා ජීවිත අවදානම් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීම් සිදුකර ඇත.
ප්රබල සුළංවල බලපෑම ස්කොට්ලන්තයේ බටහිර ප්රදේශ වෙත එල්ල වූ අතර, අද එය ක්රමයෙන් නැගෙනහිර දෙසට පැතිර යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

