brand logo
logo
ජිෆ්රි මොහොමඩ් ඇතුළු දෙදෙනෙකු එළැඹෙන 12 වැනිදා දක්වා රිමාන්ඩ්

ජිෆ්රි මොහොමඩ් ඇතුළු දෙදෙනෙකු එළැඹෙන 12 වැනිදා දක්වා රිමාන්ඩ්

05 November 2026


මෙරටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් නීති විරෝධි අයුරින් රුපියල් බිලියන 190ක මුදලක් විදේශ රටවලට යැවූ බව කියන සිද්ධියට අදාළව ජිෆ්රි මොහොමඩ් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු එළැඹෙන 12 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (05) නියෝග කළේය.


නඩුව කැඳවූ අවස්ථාවේදී පළමු සහ අටවන සැකකරුවන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.


මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් මෙහිදී අධිකරණයට දන්වා සිටියේ, එම සැකකරුවන්ට ඇප ලබාදීමට එරෙහි විරෝධතා අද ගොනුකළ බවය.


ආනයන හා අපනයන කටයුතුවලට අදාළව සිදුකරන විමර්ශනයේදී අවශ්‍ය අවසන් තක්සේරු වාර්තා සහ අනෙකුත් ලේඛන ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වීය.

අදාළ සමාගම් ආරම්භ කිරීම සහ ඒවායේ පදනම සකස් කිරීම සඳහා දායක වූ පුද්ගලයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් එම නිලධාරීන් දැනුම් දුන්නේය.


මෙහිදී පළමු සැකකරු වන ජිෆ්රි මොහොමඩ් සහ අටවන සැකකරු සම්බන්ධයෙන් ද තවදුරටත් විමර්ශන සිදුකරන බව එම නිලධාරින් සඳහන් කළේය.


එමෙන්ම බැංකු නිලධාරීන් සහ විමර්ශනයට අදාළ සමාගම් අතර සම්බන්ධතා පවතින්නේද යන්න පිළිබඳ තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා අදාළ ප්‍රකාශ අධිකරණයට ඉදිරිපත් කරන බවද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්නේය.


ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, සැකකරුවන් සම්බන්ධයෙන් ඇප නියෝගය ලබන 12 වැනිදා ලබාදෙන බව ප්‍රකාශ කළේය.

 

More News..