යුද්ධය අවසන් වී ඇතත් පොපි මලේ කාර්යභාරය අවසන් නැත
10 November 2026
යුද්ධය අවසන් වී ඇතත් පොපි මලේ කාර්යභාරය අවසන් නැත
10 November 2026
කොළඹ විහාර මහා දේවි උද්‍යාන පරිශ්‍රයේ අහස් කුස සිඹින තරමට උස ඍජු සිලින්ඩරාකාර කුලුනක් ඇත. මේ සුන්දර වට පිටාවේ පෙම්සුව විඳින තරුණ තරුණියන්ට කුලුන පාමුල කදිම නවාතැන් පොළක් විය. ඔවුනට වාගේම මෙහි යනෙන වැඩිදෙනකුට කුලුන පිළිබඳ අදහසක් තිබුණාදැයි කිව නොහැකිය. අදට ද එය එසේමය. ජයග්‍රහණයේ ස්මාරකය පළමු ලෝක යුද්ධය සහ දෙවැනි ලෝක යුද්ධයේ අමිහිරි මතකයන් අවදිකරන්නකි. ඒ මතකයන් අතරේ මේ පුංචි දිවයිනේ රණවිරුවන්ගේ මතක සුවඳ ද රැඳී පවතී.
ජයග්‍රහණයේ කුලුන පළමු ලෝක යුද්ධයෙන් සටන් වැද මිය ගිය විරු සෙබළුන් වෙනුවෙන් ඉදි කරන ලද්දකි. මේ කුලුන නිර්මාණය කර තිබෙන්නේ ඉන්දියාවේ නවදිල්ලි නගරය නිර්මාණය කළ ශ්‍රීමත් එඩ්වින් ලුටියන්ස් විසිනි. මුලදී කුලුන ඉදිකර තිබුණේ ගාලු මුවදොර පිටියට ආසන්න පෙදෙසක බව වාර්තාවේ. පසුව දෙවැනි ලෝක යුද සමයේදී ජපානයෙන් ගුවන් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ඇතිවූ බිය හේතුවෙන් කොළඹ වික්ටෝරියා උද්‍යානයේ (වර්තමානයේ විහාර මහා දේවි උද්‍යානයේ) යළි ජයග්‍රහණයේ කුලුන ප්‍රතිෂ්ඨාපනය කරන ලදී. පසුව ඊට දෙවැනි ලෝක යුද්ධයේදී මියගිය සෙබළුන්ගේ නම් ඇතුළත් කළ ආධාරක බිත්තියක් ද පසුපසින් එක්කර තිබේ. මෙය බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ මතකයක් පමණක් නොවේ. එහි අපේ පුංචි දිවයිනේ රණ විරුවන්ගේ රුහිරයේ සුවඳ ද තැවරී ඇත. කුලුනේ කොටා ඇති නාමාවලියේ පළමු ලෝක යුද්ධයේදී අධිරාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් දිවි පිදූ තරුණයන් 450කට අධික පිරිසකගේ නම් (එයට එක් කාන්තාවක්ද ඇතුළත්ය) එහි කෙටූ නම් අතර ඇඩම්, අයියාදුරෙයි, බ්‍රවුන්, ද අල්විස්, ඩ්‍රීබර්ග්, ඔබේසේකර, පරමනාදන්, පෙරේරා, සමරවික්‍රම ආදී සිංහල, දමිළ, මුස්ලිම් සහ බර්ගර් යන සියලු ජාතීන්ට අයත් ලාංකිකයන්ගේ නම් සහ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ නම් හෝඩියේ පිළිවෙළට මෙහි කැටයම් කර තිබේ. උතුරේ අයියාදුරෙයිගේ මෙන්ම දකුණේ, ඔබේසේකර, සමරවික්‍රම ද සිටීම, යුද්ධයේදී රණ විරුවා සටන් වදින්නේ වර්ගවාදයෙන් තොරව බවක් පසක් කරන්නකි. යාපනයේ ශිෂ්‍ය භටයන් මෙන්ම රාජකීය, සාන්ත තෝමස්, වෙස්ලි, ට්‍රිනිටි, කිංස්වුඩ් වැනි විද්‍යාලවල ඉගෙනුම ලැබූ ශිෂ්‍ය භටයන් ද පළමු ලෝක යුද්ධයේදී සටන් බිමට ගොස් තිබේ. දෙවැනි ලෝක යුද්ධයට සම්බන්ධවූ සිව් දෙනෙක් දැනට ජීවත් වෙති. ජාත්‍යන්තර පොපි මල් දිනයේදී ජයග්‍රහණයේ කුලුන ඉදිරියේ මෙසේ, විදෙස් සමීපතමයෝ පැමිණ සංවේගය, ගෞරවය පිරි සිතින් මල් තබා උත්තමාචාර දක්වති.
ජාත්‍යන්තර පොපි මල් දිනය එසේත් නැත්නම් සැමරීමේ දිනය සෑම වසරකම නොවැම්බර් මාසයේ දෙවැනි ඉරිදා දිනයේ සමරනු ලබයි. එදින උදෑසන 11:00 ට ලොව පුරා විනාඩි දෙකක නිහඬතාවයක් පවත්වනු ලැබේ. පළමු විනාඩිය වෙන් වන්නේ යුද්ධයේදී මියගිය සහ ආබාධිත වූ සියලුම රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ගෞරව කිරීම වෙනුවෙනි. ලෝකයට සාමය උදාවේවායි ප්‍රාර්ථනා කිරීම වෙනුවෙන් දෙවැනි විනාඩිය වෙන්වේ. පොපි මලක් මිලදී ගෙන පැලඳීමෙන් එකතු වන සියලුම මුදල් වෙන් වන්නේ යුද්ධයෙන් ආබාධිත වූ රණවිරුවන්ගේ සහ මියගිය සෙබළුන්ගේ අසරණ වූ පවුල්වල සුභසාධනය වෙනුවෙනි. ලොව කොතැනට ගියත් පපුවේ වම් පසින්, හදවතට ආසන්නයෙන් පැලඳ සිටින රතු පැහැති කුඩා පොපි මලක් ගසා ගත් මිනිසුන් දැකිය හැකිය. ඔවුන් ලෝකයටම පසක් කර දෙන්නේ අතීතයේ දිනෙක මාතෘ භූමිය වෙනුවෙන් සිය හුස්ම පොද පූජා කළ අභීත රණවිරුවන්ගේ අසමසම කැපකිරීමයි.
පොපි මල යුද්ධයේ සැමරුම් සංකේතයක් බවට පත්වීමේ කතාව ආරම්භ වන්නේ පළමු ලෝක යුද සමයේදීය (1914-1918). බෙල්ජියමේ සහ ප්‍රංශයේ උතුරු ප්‍රදේශයේ "ෆ්ලැන්ඩර්ස්" නමැති සටන් බිම කාලතුවක්කු ප්‍රහාරවලින් මියගිය රණවිරුවන්ගේ රුහිරයෙන් නෑවී තිබිණි. පුදුමයකි. මියගිය රණවිරුවන්ට කෘතවේදිත්වය පළ කරන්නට මෙන් විරුවන්ගේ සිරුරු වැළලී ගිය ඒ මහ පොළොව දීප්තිමත් රතු පැහැති පොපි මලින් පිරී ගියේය. විවිධ පැහැයන්ගේ පොපි මල් ඇතත් ඒ බිම රක්ත වර්ණ පොපි මලින් පමණක් වැසී ගියේ සොබා දහමේ අදිසි බලය ප්‍රදර්ශනය කරමිනි. මේ අසිරිමත් දසුන දුටු කැනේඩියානු හමුදා වෛද්‍යවරයකු වූ ලුතිනන් කර්නල් ජෝන් මැක්රේ 1915 දී "In Flanders Fields" කවි පෙළ ලිවීය. ඒ සමග දීප්තිමත් රක්ත වර්ණ පොපි මල් ගැන ලොවක් කතා කරන්නට ගත්තේය.
"ෆ්ලැන්ඩර්ස් පිට්ටනියෙහි පොපි මල් පිපී වැඩෙයි,
කුරුස අතර, පේළියෙන් පේළියට..." පද වැලෙන් ඔද වැඩී එතැන් පටන්, යුද්ධයේදී මියගිය රණ විරුවන්ගේ රුධිර බිඳුවල සංකේතයක් ලෙස සහ ඔවුන් කෘතවේදීව සිහිපත් කිරීමක් වශයෙන් රතු පොපි මල භාවිත කිරීමේ සම්ප්රදාය ආරම්භ විය. වර්ෂ 1918 නොවැම්බර් 11 වන දින උදෑසන 11:00 ට පළමු ලෝක යුද්ධය නිල වශයෙන් අවසන් වූ අතර, එතැන් පටන් නොවැම්බර් 11 වන දිනට ආසන්නතම ඉරිදා දිනය ජාත්‍යන්තර පොපි මල් දිනය / සිහිපත් කිරීමේ දිනය" ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.
‘යුද්ධය’ තරම් අමිහිරි වචනයක් මානව ශබ්ද කෝෂයේ නැත. කුරිරු යුද්ධයක රුදුරු ගිනියම නිවා දමන්නේ සාමයේ සිසිලසය. ඒ සිසිලස අහිංසක පුරවැසියන්ට ලබා දීමට දිවි පරදුවට තබන්නේ උතුම් රණ ශූරයාය. රණවිරු ඔහු / ඇය නිවෙසින් පිටවන්නේ තමන්ගේ පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව උදෙසා පමණක් නොවේ. සෑම පුරවැසියකුටම සැනසිල්ලේ ජීවත් විය හැකි වාතාවරණයක් සලසා දෙන්නටය. සාමාන්‍ය පුරවැසියකු කිසියම් වෘත්තියක යෙදෙන්නේ තමන්ගේ දරු පවුල වෙනුවෙන් පමණි. රණ විරුවාට රට වෙනුවෙන් යන ගමනේදී යළි පැමිණීමේ බලාපොරොත්තුවක් නැත. එහෙත් ඒ සහතිකය පුරවැසියන්ට ලබා දීම ඔවුනගේ ඒකායන පරමාර්ථයයි.
යුද්ධය ලංකාවට ආගන්තුක දෙයක් නොවේ. තිස් වසරක බිහිසුණු, කුරිරු යුද්ධය අවසන්වී ගතවී ඇත්තේ දාහත් වසරක් පමණි. තවමත් ඒ සාපලත් යුද්ධයේ උණුසුම දැනෙයි. රණ විරුවන්ගේ රුධිරයෙන් තෙමී ගිය පොළෝ තලයේ පිපුණු පුංචි රතු පොපි මල් යායක් කළගුණ දන්නා දනන්ගේ සිත්වල මැවේ. ලංකාවේ මිනිසුන්ට යම් දෙයක් මතක සිටින්නේ සතියක් බවට කතාවක් පවතී. මේ වන විට යුද්ධයක් තිබුණු බව යුද්ධය කාලයේදී කුඩාවුන්ව සිටියවුන්ට යුද්ධයෙන් පසුව ඉපදුණු දරුවන්ට තබා ඇතැම් වැඩිහිටියන්ට ද මතක නැත. එසේ අමතක වූවන්ට රණ විරුවන් ගැන ගෞරවනීය මතකය අවදි කරන්නට ජාත්‍යන්තර පොපි දිනය උපකාරීවේ. විශේෂයෙන් වසර දාහතක් වැනි කෙටි කාලයකදී අපේ ජනතතාවෙන් කවර හෝ කොට්ඨාශයකට රණවිරුවා සෙබළකු වන්නේ නම් එය ඛේදනීයය. අද යුද සමයේ ජීවත්වූ අප නිදහසේ හුස්ම ගන්නේ ඔවුන්ගේ ජීවිත පරිත්‍යාගය නිසාය. ඇතැම් රණවිරුවන්ට ජීවත් වුවත් මැරුණා හා සමානය. කලක රටට විශේෂ අවශ්‍ය පිරිසක් වූ ඔවුහු දැන් විශේෂ අවශ්‍යතා සහිත පිරිසක් බවට පත්වී සිටිති.
යුද පිටියට ගිය ජවාධික තරුණයකුට බෝම්බ ප්‍රහාරයකින් අනතුරට පත්වී රෝහල්ගත කරයි. පසුවදා සිහිය ලබන ඔහු අවදි වීමට උත්සාහ ගනියි. එහෙත් ඔහුට ඇවිදීමට නොහැකිය. බෝම්බයෙන් ඔහුට ඔහුගේ දෙපා අහිමිව ගොස් ඇත. එවැන්නක් කෙනකුට අත්දකින්න සිදු වුවහොත් ඔහුගේ මානසිකත්වය කෙබඳුද? කවුරුන් නිසාද ඔහුට දෙපා අහිමි වූයේ? යුද මයේදී හමුදා පියවරුන්ට දරුවන් සමඟ කාලය ගත කිරීමට ඉඩක් නොලැබුණු තරම්ය. කෙටි නිවාඩුවකට පැමිණ පියාව දරුවන් හඳුනාගන්නේ නැත. පියාට හුරු වන විට නිවාඩුව අවසන්ය. මෙවන් කැපවීමක් රටේ ජනතාව වෙනුවෙන් කළ රණ විරුවන් අමතක කළ හැකිද? හදවතට එකඟව සිතන කිසිදු ශ්‍රී ලාංකිකයකුට රණ විරුවකු, සෙබළා, හමුදාකාරයා යන සරල වදනින් ඇමැතිය නොහැකිය. අරගල බිමක සටන් වදින්නා සහ හමුදා සෙබළකු අතර කැපී පෙනෙන වෙනස හඳුනා ගත නොහැකි පුද්ගලයන් මේ මහ පොළොවට බරකි.
මෑතකදී එක්තරා පුවත්පත් ආයතනයකට පැමිණි සරසවි සිසුන්ගෙන් අසූව දශකයේ යුද්ධය ගැන විමසූ විට ඔවුන් යුද්ධයක් තිබුණූ බවක් දැන සිටියේ නැත. වර්තමානයේ ඉහළ නිලධාරීන්ගේ සිට බිම් මට්ටම දක්වාම පවතින්නේ එවන් තත්ත්වයකි. අමතක නොකරන්න. තිස් වසරක යුද සමය තුළ ත්‍රිවිධ හමුදාවේ (යුද, නාවික, ගුවන්) සහ පොලීසියේ/විශේෂ කාර්ය බලකායේ 29,000 කට ආසන්න සෙබළුන් ප්‍රමාණයක් මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූහ. (මින් 23,000 කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකා යුද හමුදා සෙබළුන් වේ.) යුද්ධය හේතුවෙන් පූර්ණ සහ අර්ධ වශයෙන් ආබාධිත තත්ත්වයට පත් වූ ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 50,000 කට අධිකය.
අපේ හමුදාවේ සේවාවන් යුද්ධයට පමණක් සීමා නොවේ. කෝවිඩ් සමයේ ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය නිසා මෙරට කෝවිඩ් මරණ කීයක් වැළකුණාද? සුනාමි, දිට්වා ඕනෑම විපතකදී මුලටම පිටියට බහින්නේ හමුදා විරුවන්ය. මෑතකම සිදුවීම කාවන්තිස්ස ඇත් රජුගේ අවාසනාවන්ත සිදුවීමත් සමග ඇත් පරපුර සුරකින වගකීම පැවරුණේ හමුදාවටය. යම් කාර්යයක් හමුදාවට පැවරුණොත් එහි සාර්ථකත්වය ගැන දෙවරක් සිතිය යුතු නැත.
එහෙත් දැන් තරුණ පරපුර හමුදාවට බැඳෙන්නට එතරම් උනන්දුවක් නොදක්වන බව වාර්තාවේ. හමුදාවේ අතීත මෙහෙවරේ වටිනාකම ඔවුන්ගේ හදවතට නොදැනේ නම් එසේ වීම පුදුමයක් නොවේ. එහෙත් මතකය අවදිකර ගැනීමට කාලය උදාවී ඇත. නොවැම්බර් 8 වැනිදා සිට දෙසැම්බර් දක්වාම ඔබ අපට ඉතා සුළු මුදලකට පොපි මලක්, ස්ටිකරයක්, මල් දමක් මිලදී ගෙන කෘතවේදිත්වය දැක්වීමට අවස්ථාව උදාවී ඇත. යුද්ධයක් නිමවී මෙසේ පොපි මල් අලෙවි කිරීම ඇතමුන්ට ගැටලුවකි. එහෙත් යුද්ධයක අවසානය ඛේදවාචකයක් බවක් බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. මිය ගිය හමුදා පවුල්වල, ආබාධිත රණ විරුවන්ගේ සුබ සාධනයට විශාල මුදලක් අවශ්‍යය. රජයෙන් මුදල් ලැබුණත් මෙවැනි ආධාර ද හමුදා සුබ සාධනයේදී වැදගත්වේ. අමතක වේගෙන යන රණවිරුවන් වෙනුවෙන් හදවතේ පොපි මල් පුබුදුවන්න කාලය පැමිණ තිබේ.

