brand logo
logo
තිල්අඩියේ බිහිසුණු අනතුරක්

තිල්අඩියේ බිහිසුණු අනතුරක්

24 June 2026

පුත්තලම - තිල්අඩිය ප්‍රදේශයේදී අද (24) සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.


අනුරාධපුරයේ වන්දනාවේ ගොස් ආපසු මීගමුව බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක්, මාර්ගයෙන් ඉවතට පැන ත්‍රීරෝද රථයකද ගැටී අනතුරුව අසල තිබූ ගොඩනැගිල්ලක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. 


අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථය පදවා ඇත්තේ කාන්තාවක විසින් වන අතර, එහි 6 දෙනෙකු ගමන් කර තිබේ.


වෑන් රථය මීගමුව දෙසට ධාවනය වෙමින් තිබියදී, තිල්අඩිය ප්‍රදේශයේදී එකවරම මෝටර් රථයක් මාර්ගය හරහා අනෙක් දිශාවට ධාවනය කර ඇත.


එම මෝටර් රථයේ ගැටීම වැළැක්වීමට වෑන් රථය පදවාගෙන ආ කාන්තාව උත්සාහ කර තිබේ.


එහිදී පාලවිය දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක ගැටුණු වෑන් රථය, පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිශාවේ තිබූ ගොඩනැගිල්ලක වැදී නැවතී ඇත.


අනතුරෙන් තුවාල ලබා ඇත්තේ වෑන් රථයේ ගමන් කළ දෙදෙනෙකු සහ ත්‍රීරෝද රථයේ සිටි තිදෙනෙකි.

වෑන් රථය ගොඩනැගිල්ලේ ගැටෙන අවස්ථාවේදී ඒ තුළ කාන්තාවන් පිරිසක් සිට ඇති අතර, ඔවුන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත.


සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

More News..