brand logo
logo
 ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ නිතරගයෙන්ම ඉන්දියාව හා අවසන් පූර්ව සටනට

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ නිතරගයෙන්ම ඉන්දියාව හා අවසන් පූර්ව සටනට

29 September 2026 | ඉන්ද්‍රජිත් සුබසිංහ ජපානයේ නගෝයා සිට



ආසියානු ක්‍රීඩා උළෙල යටතේ අද ජපානයේ වේලාවෙන් පෙරවරු නමයට (ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 5.30ටශ්‍රී ලංකාව සහ නේපාලය අතර ඇරඹීමට නියමිතව තිබූ පිරිමි ක්‍රිකට් අර්ධ අවසාන පූර්ව තරගය අඛණ්ඩව ඇද හැලෙන වර්ෂාව මධ්‍යයේ එකදු පන්දුවක් හෝ යැවීමකින් තොරව අතහැර දැමීමට සිදුවිය. 


ඒ අනුව ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග අංශයෙන් අවාසනාවන්ත ලෙස ඉවතට විසි වීමට නේපාලයට සිදුවද්දී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. 


අදාල තරග නීති රීතිවලට අනුව මෙවැනි තීරණාත්මක තරගයක් පැවැත්වීමට නොහැකි වුවහොත් අයි.සී.සී ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියෙන් සිටින කණ්ඩායම මීළඟ තරග වටයට සුදුසුකම් ලබයි. ඒ අනුව ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් සිටින කණ්ඩායම ලෙසින් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර අදාළ අවසන් පූර්ව තරගය ලබන 01 දා ඉන්දියාව සමඟින් පැවැත්වීමට නියමිතය. 


අද වන විට නගෝයා නගරයට අඛණ්ඩ තෙවැනි දිනටත් වැසි පතිත වන අතර මෙම කාලගුණ තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් ක්‍රිකට් තරග අංශයේ ඉදිරි තරග ද මේ ආකාරයෙන්ම තීරණය වනු ඇත.


උද්ගත කාලගුණ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම්ද ඇනහිට ඇති අතර යම් ලෙසකින් කාලගුණයෙන් අවස්ථාවක් ලැබුණහොත් හෙට පෙරවරුවේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණයේ හෝ යාබද වෙනත් ක්‍රීඩාංගණයක පුහුණුවීම් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ආසියානු ක්‍රීඩාවල සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු තරංග පරණවිතාන "අරුණ" වෙත පවසා සිටියේය.

 

More News..