brand logo
logo
කටුපොල්  තහනම  ඉවත් කරන්න යයි

කටුපොල් තහනම ඉවත් කරන්න යයි

05 September 2026 | සාලිය කුමාර ගුණසේකර නිර්මාණි තිලකසිරි

කටු පොල් වගා තහනම ඉවත් කිරීමට අදාළව නිර්ණායක සකස් කරන ලෙස කැබිනට් මණ්ඩලය වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට දැනුම්දී ඇත. මෙරට පරිසර පද්ධතියට ඇති වන බලපෑම හේතුවෙන් කටුපොල් වගා කිරීම පසුගිය 2021 වසරේදී තහනම් කිරීමට කටයුතු කෙරිණි.


මධ්‍යම පරිසර අධිකාරිය විද්වත් මණ්ඩල වාර්තාවක් සකස් කිරීමෙන් පසුව වගාව තහනම් කිරීමේ තීරණය ගෙන තිබිණි. මේ වනවිට දිවයිනේ හෙක්ටයාර් 9,500 ක පමණ ප්‍රදේශයක කටු පොල් වගා කර ඇත. කටු පොල් වගාව ව්‍යාප්ත කිරීම සඳහා වැවිලි සමාගම් රජයෙන් දිගින් දිගටම ඉල්ලීම් කළහ. ඒ අනුව, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විද්වත් මණ්ඩලයක් පත්කළ අතර, එම කමිටුව නිර්දේශ කර ඇත්තේ හෙක්ටයාර් 20,000 ක භූමි ප්‍රදේශයක් දක්වා කටු පොල් වගා කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසයි.


කටු පොල් වගාව තහනම් කිරීමෙන් පසු වැවිලි සමාගම් අධිකරණයේ නඩු කීපයක් ගොනුකර ඇති අතර, ඒවාද මෙතෙක් අවසන්වී නොමැත. මේ අනුව, අදාළ නඩු සම්බන්ධව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ඉල්ලා ඇතැයිද අමාත්‍යාංශ ආරංචිමාර්ග කියයි.


මේ සම්බන්ධයෙන් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමැති සමන්ත විද්‍යාරත්නගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ අදාළ නඩු කටයුතු සහ වගාවට අදාළ තාක්ෂණික කාරණා කීපයක් විසඳාගැනීමෙන් පසුව කටු පොල් වගාව හෙක්ටයාර් 20,000 ක් දක්වා වගා කිරීමට අවසරය ලබාදීමට සැලසුම් කර තිබෙන බවය.


ඉකුත් වසරේදී (2025) මෙරටට පාම් තෙල් මෙට්‍රික් ටොන් 38,210 ක් ආනයනය කර ඇති අතර, පොල් තෙල් ආනයනය කර ඇත්තේ මෙට්‍රික් ටොන් 33,696 කි.

 

More News..