brand logo
logo
දෙහිවල සැන්ඩෝ ගේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට

දෙහිවල සැන්ඩෝ ගේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට

11 October 2026


අයිස් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් සිදුකළ දිර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ එම පුද්ගලයා අපරාධ සහ මනුෂ්‍ය ඝාතන රැසකට සම්බන්ධ වරෙන්තුකරුවෙකු බව අනාවරණය වී තිබේ.


මෙම පුද්ගලයා ගුවන් හමුදාවෙන් පැන ගිය ප්‍රධාන පෙළේ කොන්ත්‍රාත් වෙඩික්කරුවෙකු බවත්, විදේශ රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන "දෙහිවල සැන්ඩෝ" නැමැත්තාගේ ප්‍රධාන වෙඩික්කරු බවත් හෙළි වී ඇත.


කොට්ටාව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද හදිසි මාර්ග බාධක පරීක්ෂාවකදී, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 10,500ක් සමඟ මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත.


හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත රඳවාගනිමින් වැඩිදුර විමර්ශන සිදු කිරීමේ දී හෙළි වී ඇත්තේ මෙම සැකකරු මීට පෙර දෙහිවල සහ ගල්කිස්ස ප්‍රදේශවලදී සිදුකළ මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් අධිකරණ වරෙන්තු ලබා සැඟව සිටි අයෙකු බවය.


තවද, පසුගිය සැප්තැම්බර් 04 වන දින බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේදී වෙඩි තබා සිදුකළ මනුෂ්‍ය ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු ද බව ද අනාවරණය වී ඇත.


හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ ජීව අත්බෝම්බයක් ද සොයාගෙන පොලිස් භාරයට ගෙන තිබේ.


විදේශ රටක සිට ලබාදුන් මෙහෙයුම් මත ඉදිරි දින කිහිපය තුළ ගල්කිස්ස ප්‍රදේශයේදී සිදු කිරීමට සූදානම් කර තිබූ මනුෂ්‍ය ඝාතන කිහිපයකම සැලසුම් මෙම අත්අඩංගුවට ගැනීමත් සමඟ ව්‍යර්ථ වී ඇති බව පොලීසිය පවසයි.


සැකකරු සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

 

More News..