ජනාධිපති මන්දිර පෞද්ගලික අංශයට
03 August 2026
ජනාධිපති මන්දිර පෞද්ගලික අංශයට
03 August 2026
ඉකුත් සතියේ කැබිනට් තීන්දු අතරින් එකක් ගැනුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුවය. ඒ රට පුරා ඇති ජනාධිපති මන්දිර අටෙන් පහක් (බෙන්තොට, කතරගම, ඇඹිලිපිටිය, මහියංගණය හා අනුරාධපුරය) සංචාරක කටයුතු ප්‍රවර්ධනය සඳහා පෞද්ගලික අංශයට භාරදීමය. මෙතෙක් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් පාලනය කෙරුණු ඒ ඉදිරියේදී පෞද්ගලික අංශයෙන් මෙහෙයවෙනු ඇත.
මේ ජනාධිපති මන්දිර වර්තමාන ජනාධිපතිවරයා විසින් භාවිතයට නොගැනෙන බැවින් මෙසේ පෞද්ගලික අංශයට පවරාදෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මාධ්‍යයට ප්‍රකාශ කළේය. එහෙත් කොළඹ, මහනුවර හා නුවරඑළිය ජනාධිපති මන්දිර තවදුරටත් ජනාධිපති ලේකම් කාර්යාලය භාරයේ තබා ගැනෙනු ඇත. ජනාධිපතිවරයාගේ නිල කටයුතුවලට අවශ්‍ය බැවින් කොළඹ ජනාධිපති මන්දිරය තබාගැනීම ඕනෑම කෙනෙකුට අවබෝධ කරගත හැකිය. එහෙත් ජනාධිපති මන්දිර පහක් සංචාරක කටයුතු ප්‍රවර්ධනයට පවරාදෙද්දී මහනුවර හා නුවරඑළිය මන්දිර ඊට අයත් නොවීම තේරුම්ගැනීමට අපහසුය. ඒ සංචාරක කටයුතු පැත්තෙන් ගතහොත් ඉතා ඉහළ ඉල්ලුමක් පවතින ප්‍රදේශ දෙකක පිහිටි මන්දිර ඒ වන බැවිනි.
රට පුරා ඇති ජනාධිපති මන්දිර ගතහොත් ඒ සියල්ලම දර්ශනීය ස්ථානවල ඉදිකෙරුණු සියලු පහසුකම්වලින් සමන්විත ස්ථානයි. ඉන් ඇතැම් මන්දිර ඵෙතිහාසික වටිනාකමින්ද යුක්තය. මේ හැරුණුවිට ඒ සියලු ස්ථාන තෝරාගෙන ඇත්තේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සැලසීම ගැනද සැලකිල්ලට ගෙනය. දැන් ඒ ස්ථාන පෞද්ගලික අංශයට පවරාදීමෙන් සිදුවන්නේ ඒ පළාතේ සංචාරයක යෙදෙන අවස්ථාවකදී නවාතැන් අවශ්‍ය වුවහොත් පෞද්ගලික නිවාසයක/ හෝටලයක ජනාධිපතිවරයාට නතරවීමට සිදුවීමය. එය රටක ජනාධිපතිවරයෙකුගේ ආරක්ෂාවට සුදුසු වන්නේ නැත.
තවත් කාරණයක් වන්නේ ජනාධිපති මන්දිර යනු ශ්‍රී ලංකා රජයට අයත් දේපොළක් මිස ජාතික ජන බලවේග ආණ්ඩුවට අයත් වස්තූන් නොවීමය. අවුරුදු පහකට පමණක් බලයට පත්වූ ආණ්ඩුවක් ශ්‍රී ලංකා රජයට අයත් දේපොළක් මෙසේ පෞද්ගලික අංශයට පවරාදීම කොයිතරම් දුරට යුක්ති යුක්තද යන ප්‍රශ්නය මෙහිදී පැන නගින්නේමය. එහිදීද සියලු ජනාධිපති මන්දිර නොව තෝරා ගත් මන්දිර කිහිපයක පමණක් පාලනය අත්හැරීමද ගැටලු සහගතය.
ආණ්ඩුව හදිසියේම ජනාධිපති මන්දිර පහක් පෞද්ගලික අංශයට පවරාදීමට තීරණය කළ පසුබිමද මෙලෙසින්ම ව්‍යාකූලය. ඒ ජනාධිපතිවරයා මේ මන්දිරවල නවාතැන් ගන්නේ නැතැයි ප්‍රකාශ කර තිබියදී ගිය අවුරුද්දේ (2025) 3089 දෙනෙකු ජනාධිපති මන්දිරවල ලැගුම් ගෙන ඇතැයි යන විගණකාධිපති වාර්තාව නිකුත්වීමත් සමග මේ පවරාදීම සිදුවීමය. ජනාධිපති මාධ්‍ය අංශය විගණකාධිපති වාර්තාව සාවද්‍ය යැයි ප්‍රකාශ කිරීමට පෙර නොවූ විරූ උත්සාහයක් ගැනීමද මේ සිදුවීම් මාලාවේ අභව්‍ය ස්වරූපය පෙන්නුම් කළේය.
ආණ්ඩුව මේ උත්සාහ කරන්නේ තමන් ජනතාවට නැති කිසිම වරප්‍රසාදයක් භුක්ති විඳින්නේ නැතැයි පූර්ව මැතිවරණ සමයේ කළ ප්‍රකාශ සැබෑ යයි පෙන්වා දීමට බව කොයි කාටත් වැටහෙයි. හිටපු ජනාධිපතිවරුන් කිහිපදෙනෙකුට ලබාදී තිබූ නිවාස පවරාගැනීම, අමාත්‍ය නිල නිවාස අත්හැරීම හා මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමද මේ ගණයට වැටෙන තීන්දුය.එහෙත් මේ කිසිදු තීරණයකින් රටේ ආර්ථිකයට අමුතු සෙතක් වී නැති බව ආණ්ඩුවට වුවද පිළිනොගෙන බැරිය. ඒ හැරුණු විට ලබන මාසයට දෑවුරුද්දක් පිරෙන ආණ්ඩුව රටේ සංවර්ධනයට කළේ යැයි පෙන්වා දිය හැකි කිසිවක් නොවීමද මේ ප්‍රදර්ශනාත්මක කටයුතු කරන්නට බලපා තිබෙනවා විය හැකිය.
එහෙත් කනගාටුව වන්නේ ආණ්ඩුවේ ජනාධිපති මන්දිර පරිත්‍යාගය ඔවුන්ගේ අනුගාමිකයන්ගේද අවධානයට යොමු නොවීමයි. සිය නායකයන් ගන්නා සෑම සියලු තීරණයක්ම කොන්දේසි විරහිතව වර්ණනා කරන ඔවුන් ඒ තීන්දු වෙනස් කෙරුණු විට අපහසුතාවයට පත්වූ අවස්ථාද අනන්තය. එහෙත් ජනාධිපති මන්දිර පහක් තමන් අතහැරියේ යැයි ජනාධිපතිවරයා කියා සිටීමට රටෙන් කිසිදු ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණේ නැති තරම්ය. එසේ වූයේ ඒ තීන්දුවට ලැබුණු ප්‍රචාරය මදිවීම නිසාද නැත්නම් වෙනත් හේතූන් නිසාදැයි කියන්නට තවමත් ඉක්මන් වැඩිය.
එහෙත් එකක් නම් නොකියාම බැරිය. ආණ්ඩුව තමන් ඉතා සැකසුරුවමින් කටයුතු කරමින් සිටින බව පෙන්වන්නට උත්සාහ කරන අතරේ ඔවුන් තමන් අතින් සිදුවන බරපතළ නාස්තිද සිද්ද නොවූ සේ හැසිරෙන්නටද උත්සාහ දරන බවයි. ඒ සම්බන්ධයෙන් සියලු නිදර්ශන දක්වන්නට මෙහි අවකාශයක් නැතත් බාල ගල් අඟුරු ගෙන්වීමෙන් රටට සිදුවූ අති විශාල අලාභය යටපත් කිරීමට ආණ්ඩුව දරන උත්සාහය ගැන නම් සඳහන් නොකරම නොහැකිය.
එපමණක් නොවේ. ආණ්ඩුව තමන් ගැන කවර ගුණ වර්ණනා කරගත්තද ඉන් මහජනතාවගේ ජීවන බර අඩුවන්නේද නැත. "පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" ලබාදෙන බවට ප්‍රතිඥා දී බලයට පැමිණියද ගෙවුණු දෑවුරුද්ද රටේ ජීවන වියදම ශීඝ්‍රයෙන් ඉහළ ගියා මිස පහළ ගියේ නැත. භාණ්ඩාගාරය පිරී ඉතිරී ගොස් ඇතැයි ආණ්ඩුව පුරසාරම් කිව්වද ඉන් රට්ටුන්ගේ කුස පිරෙන්නේද නැත.

