සම්පත් මනම්පේරිට තංගල්ල මහාධිකරණයෙන් ඇප
11 September 2026 | නුවන් ජයසේකර - සූරියවැව
සම්පත් මනම්පේරිට තංගල්ල මහාධිකරණයෙන් ඇප
11 September 2026 | නුවන් ජයසේකර - සූරියවැව
ජීව අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයකු සහ හිටපු පොලිස් නිලධාරියකු වන සම්පත් මනම්පේරි නැමැත්තාට තංගල්ල මහාධිකරණය අද (11) ඇප නියම කළේය.
තංගල්ල මහාධිකරණ විනිසුරු ප්‍රදීප් එම්. අබේරත්න මහතා හමුවේ මෙම ඇප ඉල්ලීම කැඳවූ අවස්ථාවේදී, සැකකරු රුපියල් 10,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දෙක හමාර බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර තිබේ.
සැකකරු අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බව කියන රසායනික ද්‍රව්‍ය තොගයක් සහ ආයුධ සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා රඳවා තබා ගැනීමට අවසර ලබාගෙන තිබුණි.
එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත සැකකරු විසින් සඟවා තබන ලද බව කියන ජීව අත්බෝම්බයක් මිද්දෙණිය, කාරියමඩිත්ත ප්‍රදේශයේ නිවසක තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.
ඉන් අනතුරුව අත්බෝම්බය සම්බන්ධ විමර්ශන මිද්දෙණිය පොලිසිය වෙත භාරදී ඇති අතර, පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකර සැකකරුට එරෙහිව වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.
එම නඩුවට අදාළව සම්පත් මනම්පේරි විසින් තංගල්ල මහාධිකරණය හමුවේ ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර තිබූ අතර, එම ඉල්ලීම තංගල්ල මහාධිකරණ විනිසුරු ඉදිරියේ සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් සැකකරුට ඇප නියම කර ඇත.
සැකකරු මේ වනවිට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින අතර, බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු සුම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
පෙත්සම්කාර සම්පත් මනම්පේරි වෙනුවෙන් නීතිඥ ප්‍රදීප් රාජපක්ෂ මහතා පෙනී සිටි අතර, වගඋත්තරකරුවන් වෙනුවෙන් රජයේ අධිනීතිඥ මිහිඳු විලේගොඩ මහතා අධිකරණයේ පෙනී සිට කරුණු දක්වා තිබේ.

