brand logo
logo
හෙට්ටි වීදිය නන්නත්තාර කළ රන් පවුම්

හෙට්ටි වීදිය නන්නත්තාර කළ රන් පවුම්

28 October 2025 | අනීෂා මානගේ

රටේ ප්‍රසිද්ධ නමක් ඇති උකස් මධ්‍යස්ථානයක් දිවා රෑ නොනිදන කොළඹ දහය, මාලිගාවත්තේ පිහිටා ඇත්තේය. හරියටම ඒ උකස් මධ්‍යස්ථානය දෙපැත්තේ වීථි පහන් කණු දෙකකි. සාමාන්‍යයෙන් නම් පහන් කණුවේ ඇත්තේ බල්බයක් පමණක් වුණාට මෙහි විශේෂත්වයක් ඇත්තේය. ඒ, අලුතින් එහි එල්ලා ඇති දැන්වීම් පුවරු දෙකකි.


මේ දැන්වීමේ ලියා තිබුණේ “උකස් රත්තරන් බේරා දී ඔබ අතට වැඩි මුදලක්..” යනුවෙනි. ජංගම දුරකථන අංකයක්ද එහි තඩි අකුරින් මුද්‍රණය කර තිබුණේය. එහෙත් එය දුටු සැණින් දෙනෙත් එහි මොහොතකට නතර වන්නේය.


මාලිගාවත්තේ පමණක් නොවේ රට පුරා ඇති වීථි පහන් කණු, තාප්ප, බස් නැවතුම්, මගී ප්‍රවාහන බස්, ගස්, ගල් බදාගෙන අලුතින් ඇලවූ දැන්වීම් මේ දිනවල ඕනෑ තරම් ය. උකස් මධ්‍යස්ථානවලද එසේමය. ඒවා නැත්තේ සල්ලිකාරයන් සිටින කොළඹ හතේ කුරුඳුවත්තේ පමණය. ඒ කුරුඳුවත්තේ මුදල් හදිසියට රන් භාණ්ඩ උකස් කරන උදවිය නැති නිසා වෙන්නැතිය. මේ පෝස්ටර දුටු විට සිතෙන්නේ රන් භාණ්ඩ උකස් කළ අය ගැන මේ තරමට හිත උණු වෙන්නට හේතුව කුමක්දැයි කියාය.


ඒ ගැන සෙවූ අපට දැනගන්නට ලැබුණේ හිටු කියා රන් පවුමේ මිල අහස උසට ඉහළ යාම මේ විපර්යාසයට හේතුව වී ඇති බවය. ගිය සති අන්තය වන විට කැරට් විසිහතර රන් පවුමක මිල රුපියල් හාර ලක්ෂයේ සීමාව පසු කර ගියේය. කැරට් විසි දෙකේ රන් පවුම රුපියල් තුන් ලක්ෂ අසූදහසේ සීමාව ආසන්න කළේය.


වෙළෙදපොළේ රන් මිල වැඩි වෙද්දි ගෙවල්වල පෙට්ටගමේ සඟවා තිබූ රන් භාණ්ඩ තොග පිටින් එළියට එන්නට පටන් ගත්තේය. කනේ කරේ දමාගෙන සිටි කන කර වැඩි මිලට අලෙවි කෙරුණේය. රන් ආයෝජනය කරන උදවිය තරගයට රන් භාණ්ඩ එකතු කරන්නට ගත්තේ වලිගයට ගිනි ඇවිළුණා සේය. ඔවුන්ගේ බලාපොරොත්තුව තව තවත් රන් මිල ඉහළ යාමත් වැඩි වැඩියෙන් රන් භාණ්ඩ තමන් සතු කරගෙන වැඩි ලාභයක් උපයා ගැනීමය. උකස් කළ රන් භාණ්ඩ බේරා ඒවා මිලදී ගැනීමේ සීතල යුද්ධයක් ඇති වුණේද ඒ නිසාය.


උකස් රත්තරන් බේරා දී ඒවාට වැඩි මුදලක් දෙන බවට මුහුණුපොතේ දැන්වීමක් පළ කළ මාදම්පේ අයකුට අපි දුරකතනයෙන් කතා කළේ සැබෑවටම ඔවුන් වැඩි මිලට රන් භාණ්ඩ මිලදී ගන්නවාදැයි ගැන සැකහැර දැනගන්නටය.


“මගේ උකස් තියපු පවුම් එකහමාරක රත්තරන් මාලයක් තියෙනවා. ඒක බේරල දෙන්න පුළුවන්ද? ” මම විමසුවෙමි.


“මිස් කොහෙන්ද කතා කරන්නේ?” ඒ ඔහුගේ හඬය.


“මම ආරච්චිකට්ටුවෙන් කතා කරන්නේ..” මම කීවෙමි.


“හරි පුළුවන්. මම මාදම්පේ. මිස්ගෙ මාලේ පවුම් එකහමාරක් කියන්නේ ග්‍රෑම් දොළහයි. කැරට් විසි දෙකක් නම් අද දවස ඇතුළත ලක්ෂ හතරහමාරක් දෙන්න පුළුවන්. ඊයෙ වගේ නම් තවත් ගණන් වැඩියි. හෙට කරනවා නම් අඩු වෙනවා. දවස ගාණේ අඩු වෙනවා...” අතට හසුවුණ කුරුල්ලා අත්හැරීමට ඔහු සූදානම් නැත. ඔහුට අවස්ථාවක් දුන් මම එදිනම රන් මාලය විකුණන්නට සූදානම් වුණෙමි.


“වැඩේ කරනවා නම් මම එකොළහ වෙද්දි ආරච්චිකට්ටුවට එන්නම්.” මම ඔහුට ඇමතුම ගත් විට වේලාව දහයට පමණ ඇත. සැණෙකින් ඔහු කිලෝමීටර විස්සකට වැඩි දුරක් ගෙවා ආරච්චිකට්ටුවට ඒමට සූදානම් වූයේ මාගේ රන් මාලය බේරා එය මිලදී ගැනීමටය. ඒ තරම් වුවමනාවක් ඔහුට තිබුණේය.


තවදුරටත් විස්තර දැනගැනීමට අවැසි වූ හෙයින් මෙය කෙරෙන්නේ කොහොමදැයි මම විමසුවෙමි.


“මෙහෙමයි. මම මිස්ට සල්ලි දීලා මාලය බේරගන්නවා. ඊට පස්සෙ මං කැරට් එක බලලා ඒකට අනුව මිස්ට සල්ලි දෙනවා... ”


මා හමුවී රන් මාලය බේරාගන්නට ඔහු එසැණින් කැමැති වුණාට තවත් සමහරු පළමුව උකස් තැබූ භාණ්ඩයේ රිසිට්පත ගෙන්වා ගන්නේය. වැඩේ කෙරෙනවාද නැද්ද බලන්නේ වට්ස්ඇප්වලින් එන රිසිට්පත අනුවය.


මේ කාරිය කරන බොහෝ උදවිය ලියාපදිංචි මූල්‍ය ආයතන හිමිකරුවන් නොවේ. එහෙත් ඔවුන්ගේ රන් බිස්නස් එක නරකම නැතැයි සිතෙන්නේය. උකස් මධ්‍යස්ථානයකට උකස් කළ රන් භාණ්ඩයේ ණය වාරික ගෙවීම අසීරු නම් කොහොමත් එය ළඟදීම සින්න වෙන්නේය. එවිට වෙන්නේ පාඩුවක්ය. ඒත් භාණ්ඩය බේරා වෙළෙදපොළේ ඇති වත්මන් රන් මිලට එය අලෙවි කරගන්නට හැකි නම් අමතර මුදලක්ද අතට ලැබෙන්නේය. උකස් කළ රන් භාණ්ඩ බේරා ගන්නා උදවිය කරන්නේ එයය. නිකන් ඉන්න අපට අහල ගියත් මදෑ කියන්නා සේ ලැබෙන්නේ දෙපැත්තටම වාසියක් ය.


සුළු පරිමාණයෙන් රන් ආයෝජනය කරන උදවිය රන් මිලට වැඩි වටිනාකමක් දුන්නද මහා පරිමාණ මූල්‍ය ආයතන රන් මිලදී ගන්නේ තුට්ටු දෙකටය. කැරට් 24 රන් පවුමක මිල රුපියල් තුන්ලක්ෂ පනස්දහසක් වුණාට රාජ්‍ය බැංකු, පෞද්ගලික බැංකු හා මූල්‍ය ආයතනවලින් එයට දෙන්නේ රුපියල් ලක්ෂ දෙකහමාරක් පමණය. කැරට් 22 නම් ඊටත් අඩුය.


ඊට හේතුව කුමක්දැයි සෙවූ අපි ඒ ගැන විමසුවේ ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්තගෙනි. ඔහු කීවේ,


“පෞද්ගලික, රාජ්‍ය මේ හැමෝම බලන්නේ මිනිස්සු හූරගෙන කන්න විතරයි. ඒ අයගෙ අරමුණ තමන්ගෙ ලාභය තරකර ගැනීම විතරයි. අඩු තරමේ රාජ්‍ය බැංකුවත් රන් භාණ්ඩවලට නියමිත මුදල ගෙව්වා නම් අනිත් ආයතනවලටත් ඒ විදියට ගෙවන්න වෙනවා. හැබැයි එහෙම නොකරන්නේ මිනිස්සු භාණ්ඩ උකස් කරලා ඒවා ගෙවාගන්න බැරුව සින්න වුණාම වැඩි ලාභයක් ගන්න පුළුවන් නිසයි...”


ඔහු එහෙම කියද්දි අපේ සිහියට ආවේ කොළඹ හෙට්ටිවීදි‍ය ය. ඒ, රටේ වැඩිපුරම රන් භාණ්ඩ අලෙවිසැල් ඇත්තේ එහි වීම නිසාය. රන් මිල අහස උසට ගිය වේලේ හෙට්ටිවීදිය පැත්තේ ඇවිද ගිය අපිට රන් ආභරණ අලෙවිකරන්නට උත්සාහ කළ උදවියද සිටියෝය. ඔවුන් හරියට බෑග්, සපත්තු අලෙවිසල් ඉදිරිපිට සිට පාරිභෝගිකයන් ඩැහැගන්නට තනන අය මෙනි.


“එන්න මිස් එන්න, මොනවද බලන්නේ....” කියමින් රන් භාණ්ඩ අලෙවි සල් ඉදිරිපිට සිට ඇතැමුන් කෑ ගසන්නේ අපි රන් ආභරණ මිලදී ගන්නට එන්නට ඇතැයි සිතමින් වෙන්නැතිය.


නෙක වර්ගයේ රන් භාණ්ඩ අලෙවිසල් අතුරින් එකකට ගිය අපි එහි හිමිකරුගෙන් ඇසුවේ මේ දිනවල බිස්නස් කොහොමදැයි කියාය. හෙට්ටිවීදිය වටරවුම ආසන්නයේ පිහිටි ඒ වෙළෙදසලේ හිමිකරු අපිට සිය අනන්‍යතාව හෙළි කරන්නට අකැමැති විය. නළලෙහි සින්දූර් තවරාගෙන සිටි ඔහු කැඩුණු සිංහලෙන් තොරතුරු කීවේ හිතේ ගින්දර හිරකරගෙන යැයි ඔහු සමග කතා කළ මට සිතුණේය.


“මේ දවස්වල නම් බිස්නස් ඇත්තෙම නැතිතරම්. දවසක් මිල වැඩිවෙද්දි ඊළඟ දවසේ අඩු වෙනවා. තවත් මිල අඩුවෙයි කියල මිනිස්සු හිතාගෙන ඉන්නවා. මේකත් දැන් හරියට බුකී රේස් වගේ.. අපිත් බලාගෙන ඉන්නවා ඉස්සරහට මොකක් වෙයිද කියලා”


එතැනින් තවත් වෙළෙඳසලකට අපි ගොඩවීමු. එහි හිමිකරු යැයි සිතිය හැකි තරුණයකුට අප ආ කාරණය ගැන පැහැදිලි කළ විට ඔහු කීවේ,


“මේ දවස්වල බඩු ගන්න එන්නේ අත්‍යවශ්‍යම අය විතරයි. වෙඩින්වලට දින දාගෙන ඉන්න අය එනවා. ඒ හැරුණාම වෙන අය එන්නෙ නෑ. ගිය සතියේ දිගටම වැඩිවුණ මිල අද පනස්දාහකින් අඩු වුණා. මං දන්න ඇති කාලෙ මීට කලින් කවදාවත් මෙහෙම දෙයක්වෙලා නෑ...”


“ඇයි රත්තරන් මේ තරම් ගණන්?” යැයි සෙවූ අපිට සැක හිතුණේ මෙරට රන් කර්මාන්තය මෙතැනින් කඩා වැටේවිදෝ කියාය. ඒ ගැන අප විමසූවේ ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්තගෙනි.


“ලෝකයේ මහ බැංකු තමන්ගේ සංචිත විදියට රත්තරන් තබාගැනීමෙන් මේ තත්ත්වය උද්ගත වුණා. ඒ අයගේ මිලදී ගැනීමේ බලය වැඩි නිසාත් මෙට්‍රික්ටොන් ගණනින් මිලදී ගැනීම් කිරීමත් මෙයට හේතුවක්. රන් භාණ්ඩ හදන අපට මේවාත් එක්ක හැප්පෙන්න අමාරු තත්ත්වයක් ඇවිත්. ආභරණ විදියට හදනකොට ලොකු පිරිවැයක් දරන්න වෙනවා. ඉස්සර ඉඳලම රන් ආභරණ තිබුණ අයට නම් මෙය හොඳ අවස්ථාවක්...”


හෙට්ටිවීදියේ රන් භාණ්ඩ අලෙවිසල්වලට මේ දවස්වල බිස්නස් නැති වුණාට පිටත රන් වෙළෙඳාම ගජරාමෙටය. පෙට්ටගමේ පරෙස්සමට තැබූ රන් භාණ්ඩවල දූවිලි ගසා එළියට ගන්නා සමහරු මේ දවස්වල ඒවා විකුණා මුදල් ගන්නෝය. මෙවැනි රන් භාණ්ඩ ගැන ආරංචියක් කන වැකුණු විගස ඒවා මිලදී ගන්නට තවත් පිරිසක් කුරුමානම් අල්ලමින් සිටින්නෝය. සමහරුන්ට ඒවා පරම්පරාවෙන් උරුම වූ දේපළ ය. අම්මාගෙන් දුවට රන් ආභරණ තෑගි කිරීම අතීතයේ පටන් සිරිතක් හැටියට පැවත එන්නකි. අද පවුමක මිල ලක්ෂ හතරේ සීමාව පැන්නුවද ඒ කාලයේ පවුමක් මිලදී ගන්නට ඇත්තේ සත ගණන්වලට ය.


එක්දහස් නවසිය පනස් හතරේ ‘‘ලංකාදීප’’ පුවත්පතේ පළකර තිබූ වෙළහෙළඳාම් දැන්වීමක් අපට හමුවිය. එහි තිබුණේ පිටකොටුවේ බඩු මිල ගැනය. ඒ දැන්වීමේ හැටියට එකල රන් පවුමක මිල රුපියල් හැත්තෑ හයකි. ඒත් පොල් පුන්නක්කු ටොන් එකක මිල රත්තරන් පවුමකට වඩා එකල මිල වැඩිය. එහි මිල සඳහන්ව තිබුණේ රුපියල් එකසිය හැට පහක් ලෙසය. නොම්බර එකේ සම්බා මිටියක්ද රන් පවුමට වඩා මිල වැඩිය. එහි මිල රුපියල් අසූ එකකි. ක්‍රිස්තු වර්ෂ හත්වැනි සියවසේදී අපේ රටේ උදවිය රන් කහවනු නමින් කාසි වර්ගයක්ද භාවිත කළෝය.


රත්තරන් මිල ගැන කළ කතාවකට අපේ පත්තර කන්තෝරුවේ සඟයෙකු වන බියංකා නානායක්කාර කීවේ එක්දහස් නවසිය අනූ හතරේදී ඈ සිය මුල් රස්සාවේ මාස දෙකක වැටුප එකතු කළේ මාලයක් ගන්නට බවය.


“මං මගේ පළමුවෙනි රස්සාව හැටියට සුවඳ පත්තරේ වැඩ කළා. ඒ කාලෙ මගේ පඩිය 3500යි. රුපියල් 4500කට මං මාලයක් හැදෙව්වේ මාස දෙකක පඩිය එකතු කරලයි....”


අපේ රටේ සංස්කෘතියේ හැටියට රන් ආභරණවලට ලැබෙන්නේ අමුතු තාලයේ වටිනාකමකි. දීග දෙන දියණියට රන් මාලයක් හෝ සාදා දෙන්නට මවුපියෝ මනාපය. ගම්වල දීග දෙන වයසේ සිටින ළමිස්සියෝ මඟුල් ගේ පේන මානයේ තිබියදී ගාමන්ට් රස්සාවට යන්නේ ද මේ කාරණාවටමය. අම්මා තාත්තාගෙන් මහලොකු මුදල් කන්දරාවක් හිමි නැති තරුණියන් ගාමන්ට් රස්සාවෙන් කාසි පනම් එකතු කරන්නේ කරේ පාළුවට රන් මාලයක් සාදා ගැනීමේ අභිප්‍රාය ඇතිවය. වේලක් දෙකක් මගහැර හෝ මාස හය හතක වැටුපෙන් ඔවුන් කන කර සාදා ගන්නෝය.


දෙදහස් විස්සේදී රන් පවුමක් අලෙවි කෙරුණේ රුපියල් හැටදහසක පමණ මිලකටය. මේ බව මා හොඳටම දන්නේ මාගේ සහෝදරිය විවාහ වූයේ ඒ කාලයේ නිසාය. මනාල ජෝඩුවගේ මුදු දෙකටත් රන් මාලයටත් වැය වුණේ රුපියල් ලක්ෂ දෙකහමාරක් පමණ මුදලක්ය. ඒවායේ දැන් වටිනාකම ගණන් බැලුවොත් රුපියල් දසලක්ෂයකට වැඩිය.


මේ කතාව ඇසූ හෙට අනිද්දා දීග යන්නට බලා සිටින මිතුරියක කීවේ, “අපි මෙච්චරකල් හිතාගෙන හිටියෙ පෝරුවෙ චාරිත්‍ර කරන්න. දැන් ඒක කරන්න වෙන්නෙත් නෑ. නෑයෝ ඉස්සරහ ඉමිටේෂන් මාල දාන්න පුළුවන්යැ...”


අද එහෙම වුණාට දශක පහ හයකට ඉහතදී දැරියන්ට කරාබු ජෝඩුවක් සන්තකයටම ලැබුණේ මල්වර වූ පසුවය. ඊට ඉහතදී ඔවුන් කනේ පාළුවට දැම්මේ තඹක්ක කරාබු ය. තඹක්ක යැයි කියන්නේ තඹ හා රත්තරන් මිශ්‍ර කර සෑදු ලෝහයක්ය. ඒවා මිලෙන් අඩුය. ගලේවෙල ගොවි පවුලක උපන් නන්දසීලි ගමගේ ඇගේ අත්දැකීම අප සමග කියන්නට කැමැති වුණාය.


“අපේ තාත්තා ගොවිතැන් වගේම පොල් බිස්නස් කළා. පවුලේ අට දෙනයි. ඒ කාලේ වියදම් සැර නැති වුණාට අට දෙනකුට කන්න දෙන එක අමාරු වැඩක්. මෙතනින් ගෑනු ළමයිම පහක් හිටියා. අපි හැමෝම පොඩි කාලෙ ඉඳලම දැම්මෙ තඹක්ක. එක එක්කෙනා වැඩිවියට පත්වුණාම කරාබු ජෝඩුවක් හම්බවුණා. පිරිමි ළමයිට මොකුත් නෑ. පස්සෙ කාලෙක අපිම රස්සා කරලා තමයි රත්තරන් බඩු ගත්තෙ... ”


කුඩා දියණියක උපදින මොහොතේ කුඩා රන් තෝඩු දෙකකින් ඇගේ කන් සැරසීමට මවුපියෝ බොහෝ කැමැතිය. කුමන තරාතිරමක හිටියත් ඔවුන් සිතන්නේ මල්වර වන දියණියට අලුතින් කරාබු ජෝඩුවක්, රන් මාලයක් පැලඳීම යුතුකමක් හැටියටය. ඔවුන් සිතන්නේ කෙල්ලගෙ කන කර පාළු වෙන්න දෙන්නේ කොහොමදැයි කියා ය. වැඩි පොලියට ණයක් ගත්තද මල්වර දියණියගේ කන කර පාළු වෙන්නට දෙන්නේ නැත.


රත්තරන් පලඳින්නට අතීතයේ සිටම වැඩිපුර මනාප ගෑනු උදවිය ය. ගෙදරට අලුතින් කැන්දාගෙන එන ලේලි පොඩිත්තියට පවුම් තුන හතරකවත් රන් ආභරණ නැතුවම බැරිය. එව්වා වැටෙන්නේ දෑවැද්දේ ගොඩට ය. දෑවැද්දට රන් ආභරණ නැතිනම් නැන්දම්මාගෙන් අහන්නට වෙන්නේ නෝක්කාඩු ය. දීග යන්නට පෙර තරුණියෝ රන් ආභරණ එකතු කරන්නේ ඒ නිසා ය. කෙතරම් අඟහිඟකම් තිබුණත් දමිළ සංස්කෘතියේ කාන්තාවෝ ද රන් තැල්ල ගලවන්නට මනාප නැත.


කුඩ්ඩෙකුගේ පුතුගේ අපල දුරුවෙන්නැයි කියා කතරගම දෙවියන්ට කප්පමක් හැටියට රන් තැටි පූජා කළ උදවියද ඉතිහාසයේ සිටින්නෝය. ඒ රන් තැටියේ කතාවෙන් කතරගම දේවාලයේ මහ කපු උන්නැහේගේ සායම ද හේදී ගියේය. එහි බර ගැන එකල කීවේ පවුම් තිස් අටක් ය. අද රන් මිලේ හැටියට එහි වටිනාකම ලක්ෂ සීයකට වැඩිය.


තමන්ට ලැබුණු රන් භාණ්ඩ කන්දසාමි දෙයියන්ටවත් රැක ගන්නට නොහැකි වූ කලෙක දැන් අපේ රටේ අම්මලා බිය වී සිටින්නේ දියණියගේ කනේ කරාබු දෙක කොල්ලකරුවකුගේ දෑසට හසුවේ යැයි කියාය. ග්‍රෑම් එකක් වුණද දැන් තිස් හතළිස් දහසක් වටින්නේය.


රන් ආභරණ හැරුණුකොට තවත් රනින් සෑදු තවත් වර්ගයක් මේ දිනවල කරළියට පැමිණ ඇත්තේය. ඒ රන් කාසි හා බිස්කට් ය. ඒවා එකතු කරන්නේ රන් වෙළෙඳපොළේ ආයෝජනය කරන උදවිය ය. සැබෑවටම මේවා ආයෝජනයෙන් බලාපොරොත්තු වන ලාභය උපයා ගත හැකිදැයි යන්න ගැටලුවක් ය. මේ ගැන ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත කියන්නේ එය දීර්ඝකාලීනව හොඳ ආයෝජනයක් බවය.


“ආයෝජනයක් විදියට ගන්න අයට නම් රන් කාසි, බිස්කට් ආයෝජනය කරන්න මේ කාලෙ හොඳයි. ආභරණ විදියට තියාගන්නකොට ඒවට හැදුම් කුලියක් වෙනම යනවා. අපි විකුණද්දි වැඩ කුලිය නැතුවයි විකුණන්න වෙන්නෙ. අනිත් කාරණය මේ මාසේ මිලදී අරගෙන ලබන මාසේ විකුණන්න බලාගෙන රත්තරන් ගන්නවා නම් ඒක එච්චර හොඳ වැඩක් නෙවෙයි. ටිකක් කල් තියාගන්න නම් එය හොඳ ආයෝජනයක්...” රත්තරන් ආයෝජනයේ හොඳ නරක ගැන ඔහු සරලව කීවේ එහෙමය.


“සමහරු කියන විදියට රත්තරන් මිල අඩු වැඩි වෙන නිසා ඒ වෙනුවට බැංකුවේ මුදල් ස්ථිර තැන්පතුවක් විදියට තියාගන්න එක හෝ ඉඩමක් ගන්න එක ලාභයිද?” බොහෝ දෙනකුගේ හිතේ ඇති ගැටලුවක් ගැන මම ඇසුවෙමි.


“රුපියල්වලින් ස්ථිර තැන්පතුවක් දානවට වඩා රත්තරන්වලින් ආයෝජනය කරන එක ගොඩක් වටිනවා. මාව උදාහරණයට ගත්තොත් මම 2018 දී පවුමක් ගත්තේ පනස්දාහකට. දැන් කොහොම බැලුවත් ලක්ෂ තුනක් වගේ වෙනවා. හයගුණයකින් වගේ වැඩිවෙලා. රුපියල්වලින් දැම්මම ඒ ගණන එන්නෙ නැහැ. රුපියලේ අගය අඩු වීමත් තවත් හේතුවක්. ඉඩමක් කියන්නෙත් රත්තරන් වගේ තමයි. හැබැයි අපිට අවශ්‍ය වෙලාවක මුදල් කරන්න අමාරුයි. රත්තරන් අද විකුණන්න ඕන නම් ඒකත් පුළුවන්.” ආයෝජනයේ හොඳම ක්‍රමය ගැන ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත කීවේය.

 

More News..