වැඩිහිටි ජනගහනය මිලියන 5ට නගී
03 October 2026 | සාලිය කුමාර ගුණසේකර
වැඩිහිටි ජනගහනය මිලියන 5ට නගී
03 October 2026 | සාලිය කුමාර ගුණසේකර
වයස අවුරුදු 55 සහ ඊට ඉහළ ජනගහනය මිලියන පහ ඉක්මවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද සමාජ ආර්ථික දත්ත වාර්තාවේ සඳහන් වේ.
එම වාර්තාව සඳහන් කරන පරිදි ඉකුත් වසරේ (2025) දත්තවලට අනුව මෙරට සිටින වයස අවුරුදු 55 සහ ඊට ඉහළ ජනගහනය 5,190,000කි.
ඉකුත් 2024 වසරේ දත්තවලට අනුව වයස අවුරුදු 55 සහ ඊට ඉහළ ජනගහනය 3,845,000ක් විය.
මේ අනුව 2024 වසරට සාපේක්ෂව 2025 වසර වන විටදී මෙරට සිටින වයස අවුරුදු 55 සහ ඊට ඉහළ ජනගහනය 1,345,000කින් ඉහළ ගොස් තිබේ.
එම වාර්තාවේ 2025 වසරට අදාළ දත්තවලට අනුව වයස අවුරුදු 0-14ත් අතර කාණ්ඩයේ ජනගහනය 4,502,000කි. ඉකුත් 2024 වසරේ දත්තවලට අනුව වයස අවුරුදු 0-14ත් අතර වයස් කාණ්ඩයේ ජනගහනය 5,538,000ක් විය. 2025 වසර වන විටදී එම වයස් කාණ්ඩයේ ජනගහනය 4,502,000ක් දක්වා 1,036,000කින් අඩුවී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද වාර්තාවට අනුව 2025 වසරේදී මෙරට සිටින වයස අවුරුදු 15ත් 54ත් අතර ජනගහනය 12,064,000කි. ඉකුත් 2024 වසරේ එම කාණ්ඩයේ ජනගහනය 12,533,000ක් විය.
මේ අනුව 2024 වසරට සාපේක්ෂව 2025 වසර වන විටදී වයස අවුරුදු 15ත් 54ත් අතර කාණ්ඩයේ ජනගහනය 469,000කින් අඩුවී ඇත.
පොදුවේ ගත් විට මෙරට සිටින වයස අවුරුදු 0-14, 15-54 යන වයස් කාණ්ඩවල ජනගහනය ක්‍රමයෙන් අඩුවී වයස අවුරුදු 55 සහ ඊට ඉහළ වයස්වල ජනගහනය ක්‍රමයෙන් ඉහළ යමින් පවතී.
මේ අතර 2025 වසරේදී දළ උපත් අනුපාතිකය, පුද්ගලයන් 1,000කට 9.9ක් දක්වා (නවයයි දශම නවය) දක්වා අඩුවී ඇති අතර, 2024 වසරේදී එම අනුපාත අගය වූයේ 10.1කි. 2023 වසරේදී එම අගය 11.2ක් වූ අතර, 2022 වසරේදී 12.4ක් විය. 2018 වසරේ එම අගය 15.1ක් විය.
2024 වසරට සාපේක්ෂව 2025 වසර වන විටදී දළ මරණ අනුපාතිකය ද වැඩිවී ඇත. 2024 වසරේදී දළ මරණ අනුපාතිකය - පුද්ගලයන් 1,000කට 7.8ක් වූ අතර, 2025 වසරේදී එම අනුපාතික අගය 7.9කි.
2025 වසරේ දත්තවලට අනුව මෙරට වර්ග කිලෝමීටරයක පදිංචි ජනගහනය 349ක් වන අතර, 2024 වසරේදී එම ගණන වූයේ 350කි

