ඩොලර් මිලියන 2.5 ගැන වාර්තාවක් හර්ෂගේ නිවසට
02 June 2026
ඩොලර් මිලියන 2.5 ගැන වාර්තාවක් හර්ෂගේ නිවසට
02 June 2026
මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන දෙකයි දශම පහක මුදලක් වෙනත් පාර්ශ්වයකට යොමුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලූ වාර්තාවක්, සිය පෞද්ගලික නිවසට එවා තිබූ බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අනාවරණ කළේය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ වාර්තාව භාරගැනීම ප්‍රතික්ෂේප කරමින්, එය පාර්ලිමේන්තුවට එවන ලෙස තමා නියෝග කළ බවය.
"මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක සොරකම ගැන මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් සවිස්තර වාර්තාවක් ඉල්ලුවා. ඒක මගේ නිවසට එවලා 'පෞද්ගලික පරිශීලනය සඳහා පමණයි' කියලා. වාර්තාව ඉල්ලුවේ මට පෞද්ගලිකව පරිශීලනය කරන්න නෙවෙයි. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කරන්න. මම එය භාරගැනීම ප්‍රතික්ෂේප කරලා. නැවතත් පාර්ලිමේන්තුව හරහා ඔවුන්ට ලැබෙන්න සැලැස්වූවා. මුදල් පිළිබඳ සොයාබැලීමේ බලය පාර්ලිමේන්තුවට ඒකටනේ මුදල් කමිටුව පත්කරලා තියෙන්නේ. වාර්තාව මට එවීම ඒ වගකීම මුදල් කමිටුවෙන් උදුරාගැනීමක් . එහෙම වෙන්න බැහැනේ, එහෙම වෙන්නේ කොහොමද? මුදල් කමිටු සාමාජිකයන්ගේ එකඟත්වය මත මම නියෝග කළා. හෙට නැවත පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත්කරන ලෙස. එය ලැබුණු පසු අපි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. මේ වාර්තාව පාර්ලිමේන්තුවට ලබාදීමට හැකිවිය යුතුයි."

