brand logo
logo
 හොරණ රාජ්‍ය බැංකුවේ සහකාර කළමනාකරුට රැඳවුම් නියෝග

හොරණ රාජ්‍ය බැංකුවේ සහකාර කළමනාකරුට රැඳවුම් නියෝග

06 June 2026


හොරණ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි තුනහමාරක මුදලක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින එම බැංකුවේ සහකාර කළමනාකරු දින හයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර හිමිව තිබේ.


ඊට අදාළ නියෝගය හොරණ මහේස්‍ත්‍රාත් අධිකරණය විසින් ලබාදී ඇත.


එමෙන්ම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ආරක්ෂක නිලධාරියා ලබන 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. 


හොරණ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍ර කිහිපයක තැන්පත් කිරීම සඳහා රුපියල් කෝටි තුනහමාරක මුදලක් රැගෙන යමින් තිබියදී කොල්ලකරුවෙක් එය පැහැරගත් බවට හොරණ මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණේ පසුගිය ජුනි 3 වෙනිදාය.


එම මුදල් තොගය භාරව සිටි සහකාර කළමනාකරුගෙන් පොලිසිය අඛණ්ඩව ප්‍රශ්න කළත් වැදගත් හෝඩුවාවක් අනාවරණය නොවීම හේතුවෙන් පොලිස්පතිවරයා එම විමර්ශන පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසය වෙත යොමු කෙරුණි. 


එම නිලධාරීන් බැංකුවේ සී.සී.ටී.වි. දර්ශන පරීක්ෂා කළ අතර එහිදී බැංකුවේ අතිරේක කළමනාකරු එදින පෙරවරුවේ බැංකුවේ සේප්පුවෙන් මුදල් ලබා ගන්නා ආකාරය දැකගත හැකිව ඇත.


බැංකුවෙන් පිටතට පැමිණෙන ස්ථානයක කිසිදු සී.සී.ටීවි කැමරාවක් සවිකර නොතිබු අතර අවට පිහිටි සී.සී.ටීවි. කැමරා පරීක්ෂා කළ පරීක්ෂණ නිළධාරින්ට සැකකටයුතු පුද්ගලයෙකු මුදල් මළු රැගෙන යන ආකාරයක් දැකගැනිමට හැකිව නැත.


එමෙන්ම බැංකු පරීශ්‍රයේ සිදුකළ සොදිසියේදි අබලි ද්‍රව්‍ය යොදන කන්ටෙනර් පෙට්ටියක තිබි රුපියල් 1,740,000ක මුදලක් සොයා ගැනිමට විමර්ශන නිළධාරින්ට හැකිව තිබේ.


සිදුකළ වැඩිදුර විමර්ශනයේදී සැක මතුව ඇත්තේ සැකකාර අතිරේක කළමනාකරු ආරක්ෂක නිලධාරියාද සම්බන්ධ කරගනිමින් ඉතා සැලසුම් සහගතව මුදල් කොල්ල කෑ බවටය.


ඒ අනුව සැකකාර අතිරේක කළමනාකරු සහ ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.


සැකකාර අතිරේක කළමනාකාරවරයා සහ ආරක්ෂක නිලධාරියාගේ දුරකථන වාර්තා ලබා ගැනීමටත්, නිවාස පරීක්ෂා කිරීම සඳහා සෝදිසි වරෙන්තුවක් නිකුත් කිරීමටත් හොරණ ප්‍රධාන මහේස්ත්‍රත් ලක්මිණි විදානගමගේ මහත්මිය නියෝග කළාය.


සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බැංකුවේ අතිරේක කළමනාකරු වෑවල ගංගොඩ ප්‍රදේශයේ 54 හැවිරිදි අයෙක් වන අතර අනෙක් සැකකරු බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ආරක්ෂක නිලධාරියෙකි.


සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.


 

More News..