brand logo
logo
තණමල්විල ඉඩමක තිබී තරුණයෙකුගේ වෙඩි වැදුණු සිරුරක් සොයාගනී

තණමල්විල ඉඩමක තිබී තරුණයෙකුගේ වෙඩි වැදුණු සිරුරක් සොයාගනී

24 October 2026


තණමල්විල, නිකවැව ප්‍රදේශයේ පිහිටි කතරගම දේවාලයට අයත් ඉඩමක තිබී වෙඩිතබා ඝාතනය කළ තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.


මෙලෙස මියගොස් ඇත්තේ තණමල්විල, බෝදාගම, මීගස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි අවිවාහක තරුණයෙක්ය.


පොලීසිය සඳහන් කළේ, කතරගම දේවාලයට අයත් බදු පදනම මත ලබාදී ඇති නිකවැව 280 වත්ත ප්‍රදේශයේ පිහිටි අදාළ පොල් ඉඩම පිරිසිදු කිරීම සඳහා අදාළ තරුණයා ඊයේ (23) එහි ගොස් ඇති බවය.


කෙසේවෙතත්, ඔහු යළි නිවසට නොපැමිණීම හේතුවෙන් ඔහුගේ පියා අද (24) අලුයම අදාළ ඉඩමට ගොස් සොයා බලා තිබේ.


එහිදී ඔහු සිය පුත්‍රයා වෙඩි වැදී මියගොස් සිටිනු දැක ඇති අතර ඒ පිළිබඳව තණමල්විල පොලීසියට දැනුම් දී ඇත.

ඒ අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කර තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සඳහා අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ පොලිස් නිල සුනඛ අංශය ද එම ස්ථානයට කැඳවා ඇත.


වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා කවුරුන්ද යන්න හෝ ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

More News..