brand logo
logo
 උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

08 August 2026


අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු 10 වැනිදා ආරම්භ වී සැප්තැම්බර් 05 වැනිදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2,532 කදී පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර සිටී.


මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 264,496ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 107,814 ක් ඇතුළුව සමස්ත අයදුම්කරුවන් 372,310 දෙනෙකු පෙනී සිටීමට නියමිතය.


පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර අදාළ විදුහල්පතිවරුන් වෙත ද, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ ලිපිනයන් වෙත ද තැපැල් කර ඇති බවද ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය මෙහිදී පැවසීය.


විභාග ශාලාවට පැමිණීමට පෙර ප්‍රවේශ පත්‍රයේ සඳහන් තමන්ගේ අත්සන නිසි පරිදි සහතික කරවා ගැනීම අනිවාර්ය වන බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් පැවසීය.


එහිදී ඇය සඳහන් කර සිටියේ ප්‍රවේශ පත්‍රය අස්ථානගත වී ඇත්නම් විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියෙන් එය නැවත භාගත කර ගැනීමේ හැකියාව පවතින බවය.


විභාගය සඳහා අනන්‍යතාව තහවුරු කිරීමට ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය හෝ වලංගු ගමන් බලපත්‍රය පමණක් භාවිත කළ හැකි බවද ඒ මහත්මිය පැවසීය.


ජාතික හැඳුනුම්පත අස්ථානගත වී ඇත්නම් තාවකාලික අනන්‍යතා පත්‍රයක් ලෙස තැපැල් හැඳුනුම්පත සඳහා භාවිත කරන ඡායාරූප දෙකක් පාසල් අයදුම්කරුවන් විදුහල්පති ලවා ද, පෞද්ගලික අයදුම්කරුවන් ග්‍රාම නිලධාරී ලවා ද සහතික කරවාගත යුතු බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කර සිටී.


විභාග කාලසටහන කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් විභාගය ආරම්භ වීමට පැයකට පෙර මධ්‍යස්ථාන වෙත ළඟා වන ලෙස විභාග දෙපාර්තමේන්තුව සිසුන්ට දැනුම් දී තිබේ.


එසේම ජංගම දුරකථන, ස්මාර්ට් අත්ඔරලෝසු, සටහන් හෝ බ්ලූටූත් ඇතුළු කිසිදු ඉලෙක්ට්‍රොනික උපකරණයක් විභාග ශාලාව තුළට ගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් වේ. 


විභාග නීති රීතිවලට අනුකූලව කටයුතු කරමින් විභාග වංචාවලින් වළකින ලෙසත්, පසුගිය වසරවල ද විභාග වංචා හේතුවෙන් සිසුන් රැසකගේ ප්‍රතිඵල අත්හිටුවීමට සිදු වූ බවත් විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළාය.


යම් හදිසි ආපදා තත්ත්වයක් මතුවුවහොත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට ද විභාග දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බව ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.


 

More News..