පෙනුම පොඩි අවාසියක් වෙලා
13 October 2026
පෙනුම පොඩි අවාසියක් වෙලා
13 October 2026
ඇයට තියෙන්නේ ටිකක් වෙනස් විදිහක නමක්. නම වගේම වෙනස් පෙනුමක්. ඒ නිසා නම ඇසූ පමණින් වගේම රුව දුටු පමණින් ඇය හඳුනාගැනීම අපහසුවක් නෑ. ඇය තමයි ජනප්‍රිය නිළි තාර්යා කෙනඩි. වසර දහයකට ආසන්න කලක් පුරාවට රංගන ක්ෂේත්‍රයේ සිටින තාර්යා මේ දිනවලත් ටෙලි නිර්මාණ කීපයක් හරහාම අපිට දකින්න පුළුවන්. ඒ අතරිනුත් ටීවී දෙරණ නාළිකාවේ විකාශනය වන හර්ෂ උඩකන්දගේ "මං ආදරෙයි" ටෙලිනාට්‍යයේ "ඩොක්ටර් ආන්යා" චරිතය නිසා මේ දිනවල ඈ ප්‍රේක්ෂකයන් අතර ප්‍රසිද්ධ චරිතයක්. ඒ නිසාම මෙවර අපි සොඳුරු කතාබහක් වෙනුවෙන් තාර්යා කෙනඩිට ඉඩක් වෙන් කළා.
මේ දිනවල තාර්යා වෛද්‍යවරියක්ලු නේද?
ඔව්, මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශනය වෙන "මං ආදරෙයි" ටෙලිනාට්‍යයේ ඩොක්ටර් ආන්යාගේ චරිතයට රංගනයෙන් දායකවෙනවා.
ඒ වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
හර්ෂ උඩකන්ද අයියා අධ්‍යක්ෂණය කරන "මං ආදරෙයි" ටෙලිනාට්‍යය ටීවී දෙරණ නාළිකාවේ විකාශනය වෙන්න පටන්ගත්ත දවසේ ඉඳන්ම ඒකට හොඳ ප්‍රතිචාර ලැබුණා. එහි චරිතවලටත් එහෙමයි. මගේ චරිතය ගත්තොත්, ඩොක්ටර් ආන්යාටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියන්න තියෙන්නේ හරිම සතුටුයි.
"මං ආදරෙයි" ටෙලිනාට්‍යයේ වගේම ඔබ මේ දිනවල අපි තව ටෙලිනාට්‍යයක දකිනවා?
ඔව්, "මං ආදරෙයි" ටෙලිනාට්‍යයේ ඇරුනම මං හිරු නාළිකාවේ "රොන් සොයා" ටෙලිනාට්‍යයේ ඉන්නවා. ඒ ටෙලිනාට්‍යයේ කරන්නේ "විහංගා" කියලා චරිතයක්. ඩොක්ටර් ආන්යාට වගේම ඒ චරිතයටත් ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර හොඳයි.
හැබැයි ඔබට ප්‍රේක්ෂක ප්‍රතිචාර වැඩිපුරම ලැබෙන්න ඇත්තේ "රාවණ" ටෙලිනාට්‍යයේ කළ චරිතයට වෙන්න ඇති. මං හරිද?
ඇත්තටම ඔව්, එදා "රාවණ" ටෙලිනාට්‍යයේ මම කරපු ජානි බිසවගේ චරිතයට හිතාගන්න බැරි තරම් ප්‍රතිචාර ලැබුණා. නිළියක් විදිහට මේ රටේ බොහෝදෙනෙක් මාව දැනගත්තෙත් ඒ "රාවණ" ටෙලිනාට්‍යයෙන්.
තාර්යාට නිළියක් වෙන්න හිතුනේ මොකද?
මට පාසල් කාලේ චිත්‍රපටයක පොඩි කොටසක රඟපාන්න ලැබුණා. එදා තමයි නිළියක් වෙන්න ආසාවක් ආවේ. කොහොම හරි ඊටපස්සේ මගේ ආසාව ඉෂ්ඨකරගන්න ලැබුණා.
තාර්යා රංගන ක්ෂේත්‍රයට පැමිණි ඒ කතාව දැනගන්න අපිත් කැමැතියි?
ඒක ටිකක් දිග කතාවක්. එදා නිළියක් වෙන්න ආසාව තිබුණට මට ඕන වුණේ රංගනය ගැන හදාරලා නිළියක් වෙන්න. ඒ නිසා මුලින්ම මම ප්‍රවීණ රංගන ශිල්පිනී දමයන්ති ෆොන්සේකා මහත්මියත්, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ මහත්මයත් යටතේ රංගනය ගැන හැදෑරුවා. ඊට පස්සේ කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් "නාට්‍ය හා රංග කලාව" පිළිබඳ ඩිප්ලෝමාව කළා. මං රඟපාන්න පටන් ගත්තේ ඊටපස්සේ. මගේ පළවෙනි ටෙලිනාට්‍යය වුණේ හිරු නාළිකාවේ විකාශනය වුණු "බටහිර අහස" ටෙලිනාට්‍යය. ඒකෙන් පස්සේ මට දිගටම රඟපාන්න ආරාධනා ලැබුණා.
දැන් තාර්යා රංගන ක්ෂේත්‍රයේ ඇවිත් වසර කීයක් විතර වෙනවද?
මං රංගන ක්ෂේත්‍රයට ආවේ 2017 අවුරුද්දේ. ඒ කියන්නේ ලබන අවුරුද්දට හරියටම අවුරුදු 10ක් වෙනවා.
වසර 10කට කිට්ටු රංගන ජීවිතේ අමතක නැති මතකයක් තියෙනවද?
ඔව්, එකසැරයක් මට සිනමාවේ නිළි රැජින වුණු මාලනී ෆොන්සේකා මහත්මියත් එක්ක එකම නිර්මාණයක රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒක විශේෂ මතකයක්. එදා දමයන්ති ෆොන්සේකා මහත්මිය නිර්මාණය කළ "රංකිරි අම්මා" කියන ටෙලිනාට්‍යයේදි තමයි මට ඒ අවස්ථාව ලැබුණේ.
තාර්යාට තියෙන්නේ වෙනස් පෙනුමක්. ඒක ඔබට නිළියක් විදිහට වාසියක්ද අවාසියක්ද?
ඒක නම් පොඩි අවාසියක්. මගේ පෙනුම නිසා මට හුඟාක් වෙලාවට ආරාධනා ලැබෙන්නේ බටහිර තාලයේ චරිතවලට. ඒත් මං එහෙම චරිතවලට කොටුවෙන්න ආස නිළියක් නෙවෙයි. මගේ ආසාව විවිධාකාර චරිත ඔස්සේ චරිතාංග නිළියක් විදිහට රංගන ක්ෂේත්‍රය තුළ රැඳෙන්න.
පෙනුම විතරක් නෙවෙයි, ඔබේ නමත් හරි වෙනස් එකක්. ඒ ගැන කිව්වොත්?
ඒකත් පොඩි කතාවක්. මගේ අම්මා ශ්‍රී ලාංකික කෙනෙක් වුණාට මගේ තාත්තා ස්කොට්ලන්ත ජාතිකයෙක්. එයාගේ වාසගම තමයි "කෙනඩි" කියන්නේ. මාව ලැබුණට පස්සේ තාත්තා ඒක මගේ නමේ අගටත් දාලා. මට "තාර්යා කෙනඩි" වගේ නමක් ලැබිලා තියෙන්නේ එහෙම. හැබැයි ඒ නම වෙනස්ම නමක් නිසා ඒකට මං කැමැතියි.
නළුවෙක් නිළියක් වෙන එක ලේසිවුණාට රංගන ක්ෂේත්‍රයේ පැවැත්මක් හදාගන්න එක ලේසි නෑ. ඔබ හිතන්නේ ඒකට බලපාන්නේ ඒ නළුවා හෝ නිළියගේ දක්ෂතාවද? වාසනාවද?
මං වාසනාවට වඩා දක්ෂතාව විශ්වාස කරන කෙනෙක්. දක්ෂතාවක් තියෙයි නම් අපිට බය නැතුව සාර්ථකව අපේ ගමන යන්න පුළුවන්. ඒ වුණාට වාසනාවෙන් රංගන ක්ෂේත්‍රයේ ඉදිරියට යන එක අපහසුයි. කවුරු හරි කෙනෙක් එහෙම ගියත් ඒක තාවකාලිකයි කියලා මං හිතනවා. ඒ නිසා රංගන ක්ෂේත්‍රයේ පැවැත්මක් හදාගන්න නම් උඩින්ම තියෙන්න ඕන දක්ෂතාවයම තමයි.
නිළි වෘත්තියෙන් මිදුනම තාර්යා කියන්නේ මොන වගේ කෙනෙක්ද?
මං හරිම සරල, සාමාන්‍ය කෙනෙක්. විවේකයක් ලැබුණම ට්‍රැවල් කරන්න කැමැතියි. මොකද මම සොබාදහමට හරිම ආදරේ කෙනෙක්. නිවේදන වෘත්තියත් මේ වෙනකොට මං කරගෙන යනවා.
ඔබගේ පවුලේ විස්තර එහෙම මොනවද?
මම තමයි පවුලේ එකම ළමයා.
ආදරය ගැන තාර්යාගේ අදහස මොකක්ද?
මං හිතන්නේ ආදරය කියන්නේ ලස්සන, සුන්දර දෙයක්. ඒත් ඒක එහෙම වෙන්නේ හරි කෙනෙක් ලැබුණොත් විතරයි. දෙදෙනා තුළ අවංකභාවය, විශ්වාසය, ගෞරවය, අවබෝධය වගේ දේවල් උපරිමයෙන් තියෙනවා නම් එතැන තමයි නියම ආදරය තියෙන්නේ.
මේ වෙනකොට තාර්යාට එහෙම ආදරයක් මුණගැහිලා තියෙනවද?
තවම මුණගැහිලා නෑ. මම දැනට පෙම්වතියක් නෙවෙයි.

