brand logo
logo
"මම ඉල් විරු සැමරුමට ආවෙ"

"මම ඉල් විරු සැමරුමට ආවෙ"

07 November 2026 | සුන්දර නිහතමානි ද මැල්

බිරිඳත් මමත් ගෙදර සාලයේ වාඩිවී කතා කරමින් සිටියෙමු. ඒ අවස්ථාවේ කවුදෝ දොරට තට්ටු කළ බැවින් බිරිඳ ගොස් දොර හැරියාය. ඈ ආපසු හැරුණේ පුදුමයට පත්වූ මුහුණක් ඇතිවය.

"හොඳට දැකල පුරුදු කෙනෙක්" ඈ මට කීවාය. "ඒත් කවුද කියල මතක් කරගන්න බෑ."

එවිට මුහුණ පුරා රැවුල වැවූ උපැස් යුවළක් පැලඳි අමුත්තා ගෙට ඇතුළු වී පුටුවක වාඩි විය.

"අම්මට සිරි! මේ රෝහණ සහෝදරයනෙ" මට එකවරම කියවුණේය. "නෝනා, මේ විජේවීර."

විජේවීර සහෝදරයා හැඳ සිටි රතු කමිසයේ බොත්තම් කීපයක් ගලවමින් පපුවට පිම්බේය.

"නොවැම්බර් 13 මගේ අනුස්මරණ දිනේ නිසා රටේ උත්සව ශ්‍රීය නරඹන්න කියල කල්තියා ආවෙ" ඔහු අපට කියා සිටියේය. "තියෙන්නෙ අපේ ආණ්ඩුව නිසා හතර දිග්බාගෙම මාව ජයටම සමරනව ඇතිනෙ."

බිරිඳගේ ඇස්වලට කඳුළු පිරෙනු මට පෙනුණේය. මගේද උගුර කට වේළී ගියේය. විජේවීරට අපේ වෙනස වැටහුණි.

"අපේ ආණ්ඩුව මේ අවුරුදු දෙකට ධාන්‍ය ධනය නෙක මල් පලතුරුවලින් රට සශ්‍රීක කරලනෙ ඇත්තෙ" ඔහු අප සනසන්නට මෙන් කීවේය. "ඒක නිසා භාණ්ඩාගාරෙ උතුරල යන සල්ලිවලින් කෝටි කීපයක් තමන්ගෙ සදාදරණීය නායකයව සමරන්න වියදම් කරාට ඔය සහෝදරවරු අප්සෙට් වෙන්න එපා." 

"කොළඹ නම් ඉල් විරු සැමරුම කියල එක රැස්වීමක් වෙනදට තියෙනවා සහෝදරයා "මම විජේවීරට අපහසුවෙන් කියා සිටියෙමි. "හැබැයි ඒකෙදි ඔය සහෝදරයා ගැන අමුතුවෙන් සඳහනක් කෙරෙනව කියල නම් මතකයක් නෑ."

ලොක්කාගේ මුහුණ එකවරම කළුවී ගියේය. ඔහු කල්පනා කරමින් කතා කරන්නට විය.

"ඒ කියන්නෙ මගෙන් පස්සෙ පක්ෂෙ ඉතා දියුණු මට්ටමකට ගිහින්" ඔහු කියන්නට විය. "දැන් පුද්ගලාභිවාදනය නවත්තලා."

"අනේ ඔව්" බිරිඳ ඊට පිළිතුරු දුන්නාය. "දැන් වන් ඇන්ඩ් ඔන්ලි අනුර සහෝදරයා විතරමයි අභිනන්දනය කරන්නෙ, අනිත් හැමෝම එක සමානයි, දෙකයි පනහයි."

විජේවීර මගේ බිරිඳට රැව්වේය.

"මාව අමතක කරල දැම්මත් කමක් නෑ" ඔහු කියා සිටියේය. "ඒගොල්ලො මගේ ප්‍රතිපත්ති අනුගමනය කරනව නම් මට ඒ ඇති."

"ප්‍රතිපත්ති අතින් නම් සහෝදරයා පක්ෂෙ නියමයි. කොටින්ම ඔයැයිගෙ කාලෙට වැඩියෙ හුඟාක් ඉස්සරහට පක්ෂෙ ගෙනිහින් තියෙන්නෙ" මම විජේවීරට පැහැදිලි කළෙමි. "යල් පැනපු අදහස් කර තියාගෙන යන්නෙ නැති නවීන පක්ෂයක් දැන් ගොඩනගල තියෙන්නෙ."

විජේවීර ඒ කතාවෙන් නොසන්සුන් විය. යල් පිනූ අදහස් මොනවාදැයි ඔහු විමසුවේය.

"ඇයි ලොක්කා, 71-89 ජේවීපිය වගේ ත්‍රස්තවාදී පක්ෂයක් වලංගු වෙන්නෙ විපක්ෂෙ ඉන්න කොට විතරයිනෙ. ඉන්දියන්, ඇමරිකන්, අයි.එම්.එෆ්. විරෝධෙත් හොඳටම හොඳයි තමයි විපක්ෂෙදි" මම විජේවීරට කියා සිටියෙමි. "රට ආණ්ඩු කරල කිසිම පළපුරුද්දක් නැතුවත් මේ ආණ්ඩුවට 2024 සැප්තැම්බරේදිම ඒ සත්‍යය අවබෝධ වුණා."

"තමුසෙ කියන දේ මට පැහැදිලි නෑ" විජේවීර කියා සිටියේය. "ඒ කියන්නෙ දැන් අපේ පක්ෂෙ මගේ ප්‍රතිපත්ති ගැන කතා කරන්නෙවත් නැද්ද?"

"අපොයි නෑ සහෝදරයා, මේගොල්ලො ඒ වගේ ද්‍රෝහියො නෙවෙයි .තාමත් ඉස්සර තිබිච්ච මාක්ස්වාදී පක්ෂෙම තමයි, කතා කරනකොට. භක්තිමත් පාක්ෂිකයො වෙනුවෙන් ඒ ටික කරනවා" මම විස්තර කළෙමි. "ඒ වුණාට මේ කාලෙ ආණ්ඩුවක් කරන්න නම් බෑනෙ ඒ කාලෙ තිබිච්ච හණමිටි අදහස් එක්ක."

විජේවීර මැළවුණු මුහුණෙන් පුටුවෙන් නැගිට්ටේය.

"කතාවෙන් කතාවෙන් අහන්නත් බැරිවුණානෙ අයිසෙ" විජේවීර යන ගමන නවතා මගෙන් විමසුවේය. "මේ ආණ්ඩුව ආපු ගමන් මාව පණපිටින් පිච්චිල්ල ගැන පරීක්ෂණයක් කරන්න ඇතිනෙ. ඒකෙ වැරදිකාරයො වෙච්ච එවුන්ට මොකද කරේ?"

ඒ කතාවෙන් මගේ ඉවසීම නැතිවී ගියේය.

"සහෝදරයා, ඔය පරණ කතා අදින්නෙ නැතුව යනවද යන්න ආපු තැනකට. මේ මිනිස්සු මෙච්චර හොඳට මේක කරගෙන යද්දි එනව මෙතන මිනිස්සු පුච්චපුව ගැන අහල වැඩේ කුරුවල් කරන්න."

 

More News..