brand logo
logo
හිටපු පොලිස්පතිගේ මරණය ගැන පරීක්ෂණ බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාශයට

හිටපු පොලිස්පතිගේ මරණය ගැන පරීක්ෂණ බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාශයට

17 July 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ මරණය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය සහ මාළඹේ පොලිසිය මගින් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.


පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ සී.ඩී වික්‍රමරත්න මහතාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති බවය.


අද(17) උදෑසන මාළඹේ, තලාහේන ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ දී හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා වෙඩි වැදීමකින් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.


කෙසේවෙතත් සී.ඩී වික්‍රමරත්න මහතා සිය නිවසේ දී වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවට පොලිසිය මීට පෙර ප්‍රකාශ කර තිබුණි.


අද පස්වරුවේ අදාළ ස්ථානයට පැමිණි කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය විසින් සිදුකරනු ලැබීය.

අද දෙරණ වාර්තාකරු පැවසුවේ වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ද එම ස්ථානයට පැමිණි බවය.

සී.ඩී වික්‍රමරත්න මහතාගේ මරණය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකර එහි ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එහිදි කඩුවෙළ මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර ඇති බව සදහන්.

මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී වික්‍රමරත්න මහතා මියයන විට 63 හැවිරිදි වියේ පසුවිය.

1986 වසරේ පොලිස් සේවයට එක්වූ ඔහු 2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සේවය අත්හිටුවීමත් සමඟ වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරිණි.

අනතුරුව ඔහු පොලිස්පති ධුරයට පත් කෙරුණේ 2020 වසරේ නොවැම්බර් මස 27 වැනිදාය.

සී.ඩී වික්‍රමරත්න මහතා 2023 වසරේ මාර්තු මස 25 වැනිදා ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබුණ ද නව පොලිස්පතිවරයෙකු පත් කරන තෙක් එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අවස්ථා කිහිපයක දී සේවා දිගුවන් ලබාදීම හේතුවෙන් තවත් මාස 08කට ආසන්න කාලයක් ඔහු පොලිස්පති ධුරයේ කටයුතු කරනු ලැබීය.

සී.ඩී වික්‍රමරත්න මහතා පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගනු ලැබුවේ 2023 වසරේ නොවැම්බර් මස 23 වැනිදාය.


 

More News..