brand logo
logo
දැන්වීම් පුවරු ගාස්තු නගී

දැන්වීම් පුවරු ගාස්තු නගී

16 October 2026 | අනීෂා මානගේ

ව්‍යාපාරික ස්ථානවල දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීමට අය කෙරෙන ගාස්තු මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැරිය නොහැකි ප්‍රමාණයකින් ඉහළ දමා තිබීම හේතුවෙන් දිවයින පුරා ව්‍යාපාරික ස්ථානවලට දැඩි ගැටලුකාරි තත්ත්වයක් උද්ගත වී ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති.


පෞද්ගලික රෝහල්, වෛද්‍ය මධ්‍යස්ථාන, සුපිරි වෙළෙඳසල්, හෝටල් ආදී ව්‍යාපාරික ස්ථාන බොහෝමයක සාමාන්‍ය දැන්වීම් පුවරු සහ ආලෝක කරන ලද දැන්වීම් පුවරු සවි කර ඇත. ප්‍රමුඛතා සහ ප්‍රමුඛතා නොවන ස්ථානවල පිහිටි ව්‍යාපාරික ස්ථානවල දැනට සවි කර ඇති මෙවැනි දැන්වීම් පුවරු සහ අලුතින් සවි කරන දැන්වීම් පුවරු සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් නව ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. එම ගාස්තු ක්‍රමවේදයට අනුව පුවරුවක් සකස් කිරීමේදී අති විශාල ගාස්තුවක් බදු ලෙස වැය කිරීමට වන බව ව්‍යාපාරිකයෝ කියති.


නව ගාස්තු සංශෝධනය කරමින් මාර්ග සංවර්ධන අධිකාරිය නිකුත් කළ චක්‍රලේඛයට අනුව ප්‍රමුඛතා නොවන ස්ථානවල දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීමේදී මහ නගරසභා සහ නගරසභා බල ප්‍රදේශ තුළ වර්ග මීටරයක් සඳහා වාර්ෂික ගාස්තුව තනි පැත්ත රුපියල් පන්දහසක් ලෙසත් දෙපස, හත්දහස් පන්සීයක් ලෙසත් ඉහළ දමා ඇත. එම ගාස්තුවට අමතරව සැකසුම් ගාස්තුව ලෙස තනි පැත්තකට රුපියල් දෙසිය පනහකුත් දෙපසකට රුපියල් තුන්සිය හැත්තෑපහකුත් අය කරන අතර නැවත ගෙවනු ලබන තැන්පතු මුදලක්ද අය කරයි.


මහ නගරසභා සහ නගරසභා බල ප්‍රදේශයක ඇති අභ්‍යන්තර ආලෝක කරන ලද දැන්වීම් පුවරු තනි පැත්තක ගාස්තුව විසි පන්දහසක් දක්වාත් දෙපස ගාස්තුව තිස් පන්දහසක් දක්වාත් ඉහළ දමා ඇති බව චක්‍රලේඛයේ සඳහන් වේ. මේවාටද සැකසුම් ගාස්තු සහ නැවත ගෙවනු ලබන තැන්පතු මුදලක් ද අය කරයි. මීට ඉහතදී වර්ග මීටරයක් සඳහා පැවතියේ රුපියල් තුන්දහස් අටසීයක් වැනි ගාස්තුවක් බවත් මේ වන විට එය තිස්පන්දහසක් දක්වා ඉහළ නංවා තිබීමෙන් තමන් දැඩි අසීරුතාවට පත්වන බව ව්‍යාපාරිකයෝ කියති.


මෙම නව ගාස්තු ක්‍රමවේදයට අනුව ව්‍යාපාරික ස්ථානයක ආලෝක කරන ලද දැන්වීම් පුවරුවක් සවි කිරීමට ලක්ෂ හතරකට අධික බදු මුදලක් වාර්ෂිකව ගෙවීමට වන බවත් මාසිකව රුපියල් තිස්පන්දහසකට අධික මුදලක් දැන්වීම් පුවරුවට බදු ගෙවීම සඳහා වැය වන බව ව්‍යාපාරිකයෝ පවසති. ආලෝක කරන ලද දැන්වීම් පුවරු සඳහා දෙපසට වෙන වෙනම අය කිරීම අසාධාරණ බවද ඔවුහු කියති.


දැන්වීම් පුවරු සවි කිරීමට පෙර පැවැති ගාස්තු මුදල් දරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් දැනටත් ඇතැම් ව්‍යාපාරිකයෝ දැන්වීම් පුවරු සවි කිරීමෙන් වැළකී සිටින අතර මෙවර ගාස්තු ඉහළ දැමීමත් සමග ඉදිරියේදී ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙක් නාම පුවරු සහ දැන්වීම් පුවරු ගලවා ඉවත් කරගැනීමට කටයුතු කරනු ඇතැයි ඔවුහු කීහ. දැන්වීම් පුවරු නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයන්ටද ඉන් අති විශාල බලපෑමක් වන බවත් නගර අලංකරණද සීමා සහිත වනු ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති.


ව්‍යාපාරවල ප්‍රචාරණ කටයුතු අඩපණ වීමෙන් ආදායම් අඩු වීමට එය විශාල බලපෑමක් වනු ඇත. මාර්ග සංවර්ධන අධිකාරියේ ක්‍රියාකලාපයෙන් මෙරට ආර්ථිකයට මරු පහරක් එල්ල වනු ඇතැයි ව්‍යාපාරිකයෝ කියති.


දැන්වීම් පුවරු ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු අනුරාධ හෙට්ටිආරච්චිගෙන් කළ විමසීමේදී හෙතෙම පැවැසූවේ විශාල ප්‍රමාණයකින් ගාස්තු ඉහළ නැංවීමට හේතු වූයේ 2017 වසරෙන් පසු ගාස්තු ඉහළ දමා නොමැති වීම බවයි. වර්ග මීටර ප්‍රමාණය අනුව තවත් ගාස්තු සංශෝධනයක් ඉදිරියේදී කිරීමට නියමිත වන බවද හෙතෙම පැවැසීය.

 

More News..