brand logo
logo
සෞඛ්‍ය සම්බන්ධීකරණයට හැම දිස්ත්‍රික්කයකින්ම මන්ත්‍රීවරයෙක්

සෞඛ්‍ය සම්බන්ධීකරණයට හැම දිස්ත්‍රික්කයකින්ම මන්ත්‍රීවරයෙක්

10 May 2026

සෞඛ්‍ය සේවා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට සෑම දිස්ත්‍රික්කයක් සඳහාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිස්ත්‍රික් සෞඛ්‍ය සම්බන්ධීකරණ නිලධාරී ලෙස පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා තීරණය කර තිබේ.


ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය තුළ රෝග නිවාරණ සහ ප්‍රතිකාර සේවා වඩාත් කාර්යක්ෂමව ජනතාව වෙත සමීප කරවීම මෙන්ම එම කටයුතු වල දී සිදුවන අඩුපාඩු අවම කර ගනිමින් ප්‍රමුඛතා අනුව සම්පත් කාර්යක්ෂම යෙදවීම ඉලක්ක කර ගනිමින් දිස්ත්‍රික් මට්ටමින් සෞඛ්‍ය සේවා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.


ඒ අනුව මෙරට සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් "දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන්" ලෙස පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය වෙත පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත.


මධ්‍යම රජය සහ පළාත් සභා මඟින් පාලනය වන සෞඛ්‍ය ආයතන අතර පවතින සම්බන්ධීකරණ දුර්වලතා ද, මඟහරවා ගනිමින් වඩා කාර්යක්ෂම රෝග නිවාරණ හා ප්‍රතිකාර සේවා වර්ධනය කිරීම මෙම පියවරෙහි මූලික අරමුණක් වේ.


 එමෙන්ම මීට පෙර පැවති ක්‍රමය යටතේ ප්‍රාදේශීය මට්ටමේ සෞඛ්‍ය ගැටලු නිසි ලෙස හඳුනා ගැනීම සහ ඒවා ජාතික සැලසුම්වලට ඇතුළත් කිරීමේදී යම් යම් ප්‍රායෝගික දුෂ්කරතා මතු වී තිබීම මෙවන් පත් කිරීමක් සිදු කිරීමට මුලික වී ඇතැයි අමාත්‍යාංශය පවසයි.

 

More News..