brand logo
logo
පොලිස් නිල ඇඳුම නව ආකාරයකින් නිර්මාණය කිරීමට සැලසුම්

පොලිස් නිල ඇඳුම නව ආකාරයකින් නිර්මාණය කිරීමට සැලසුම්

28 September 2026

වත්මන් රජයේ වැඩපිළිවෙළ යටතේ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් වෘත්තීමය පොලිස් සේවාවක් සහ වෘත්තීමය පොලිස් නිලධාරියෙකු නිර්මාණය කිරීමට හැකි වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.


85 වන පොලිස් මලල ක්‍රීඩා උළෙලට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ පොලිස් සේවයේ ගුණාත්මක සංවර්ධනයට ගැලපෙන පරිදි පොලිස් නිල ඇඳුම නව මුහුණුවරකින් නිර්මාණය කිරීමටත් සැලසුම් සකස් කරමින් පවතින බවය.


එමෙන්ම ඉදිරි වසර තුළ පොලිස් සේවයට තවත් නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බවත් පසුගිය වසර 5 පුරා අහිමි වී තිබූ උසස්වීම් සියල්ල ජ්‍යෙෂ්ඨතාව, කාර්ය සාධනය සහ කාර්යක්ෂමතා කඩඉම් විභාග ක්‍රමවේද යටතේ මෙම වසර තුළ ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.


අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ පහළ නිලයේ සිට ඉහළ නිලය දක්වා සියලු දෙනාට තරාතිරම නොබලා විදේශ පුහුණුවීම් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන බවය.

පොලිස් නිලධාරීන්ගේ රාජකාරී කැපවීම වෙනුවෙන් 2027 අයවැය හරහා විශේෂ අවදානම් දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇති අතර, ඉදිරියේදී විද්‍යුත් යතුරුපැදි සහ යටිතල පහසුකම් ලබාදීමට ද කටයුතු කරන බව ආනන්ද විජේපාල මහතා මෙහිදී පැවසීය.

 

More News..