Best News Website award
brand logo
logo
  Shenzhou-24 මෙහෙයුමට එක්වන ගඟනගාමීන් තිදෙනා නම් කරයි

Shenzhou-24 මෙහෙයුමට එක්වන ගඟනගාමීන් තිදෙනා නම් කරයි

24 November 2026


චීනයේ Shenzhou-24 මිනිසුන් සහිත අභ්‍යවකාශ මෙහෙයුම සඳහා සහභාගී වන ගඟනගාමීන් තිදෙනා නම් කර තිබේ.


ඒ අනුව, චීන ගඟනගාමීන් වන ටැන්ග් හොංබෝ සහ වු යේ මෙන්ම පාකිස්ථාන ගඟනගාමී මුහම්මද් සීෂාන් අලි ද එම මෙහෙයුමට එක්වීමට නියමිතය.


චීන මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය නිවේදනය කර ඇත්තේ, මෙහෙයුමේ අණදෙන නිලධාරියා ලෙස ටැන්ග් හොංබෝ කටයුතු කරන බවයි.


මෙම ගඟනගාමීන් තිදෙනා අභ්‍යවකාශ යානා නියමුවකු, පියාසර ඉංජිනේරුවකු සහ විද්‍යාත්මක පර්යේෂණ උපකරණ පිළිබඳ විශේෂඥයකු ලෙස පිළිවෙළින් කටයුතු කිරීමට නියමිතව තිබේ.


ටැන්ග් හොංබෝ මීට පෙර Shenzhou-12 සහ Shenzhou-17 යන මිනිසුන් සහිත අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා සහභාගී වී ඇත. ඒ අනුව, චීනයේ ටියැන්ගොං අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත තෙවරක් ගමන් කරන පළමු ගඟනගාමියා බවට පත්වීමේ අවස්ථාව ඔහුට හිමිවනු ඇත.


චීනයේ තෙවැනි කණ්ඩායමේ ගඟනගාමියකු වන වු යේ මෙම මෙහෙයුමට එක්වන්නේ සිය පළමු අභ්‍යවකාශ ගමන ලෙසයි.


මේ අතර, පාකිස්ථාන ගඟනගාමී මුහම්මද් සීෂාන් අලි ටියැන්ගොං අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පිවිසෙන පළමු විදේශීය ගඟනගාමියා බවට පත්වීමට නියමිතය.


Shenzhou-24 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය හෙට (25) බෙයිජිං වේලාවෙන් පෙරවරු 8.18ට වයඹදිග චීනයේ ජියුචුවාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කිරීමට සැලසුම් කර තිබේ.


චීන මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රකාශක ෂැං ජිංබෝ මහතා මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කර ඇත.

 

More News..