brand logo
logo
නාමල්, ජොන්ස්ටන් හා කුමාර ජයකොඩි

නාමල්, ජොන්ස්ටන් හා කුමාර ජයකොඩි

07 September 2026

පොලිසිය ආයුධ පෙන්වන්නට රැගෙන යන තැනැත්තන්ට ඊළඟට වෙන්නේ කුමක්දැයි කාලයක් තිස්සේ රට දනී. දැන් දැන් ප්‍රකාශයක් ලබාදීමට අල්ලස් කොමිසමට යන පුද්ගලයන්ටද වෙන්නේ කුමක්දැයි කියාත් කවුරුත් දනිති. ගිය සිකුරාදා එයාර්බස් ගනුදෙනුව ගැන කටඋත්තරයක් දෙන්නට එහි ගිය පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂටද මුහුණපෑමට සිදුවූයේ ඒ සන්තෑසියටය.


උදේ වරුවේ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගන්නා චූදිතයාට එදා හවසම උසාවියෙන් ඇප ලැබෙන අවස්ථාද තිබේ. ගිය සිකුරාදා අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එසේ එදාම ඇප ලැබුණේය. එතරම් වාසනාවන්ත නොවූ නාමල් රාජපක්ෂට සති දෙකකට මහඋළුගෙදරට යන්නට සිදුවිය.


රජෙකු හැටියට ඇතැමුන් විසින් ඔසවා තබනු ලැබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජ්‍යෙෂ්ඨ පුත් කුමාරයා වුවද නාමල් රාජපක්ෂට හිරගෙදර අලුත් තැනක් නොවේ. එයාර්බස් ගනුදෙනුවේ චෝදනාවටම ඔහු මීට කලින්ද දෙවතාවක් රිමාන්ඩ් වී තිබේ. ඒ මේ නඩුව ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් පවරන ලද්දක් නොව යහපාලන ආණ්ඩුව විසින් 2016 දී පවරන ලද්දක් බැවිනි.


2024 දී ජාජබ බලයට පත්වූයේ සියලු දූෂිතයන්ට දඬුවම් දෙන බවට දිවුරා පොරොන්දු වෙමිනි. එහෙත් ආණ්ඩුවට අවුරුදු දෙකක් වෙද්දී මෙතෙක් දූෂණ චෝදනාවලට නඩු විමසා දඬුවම් කරනු ලැබූවන්ද, රිමාන්ඩ් කරනු ලැබූවන්ද සියලුදෙනා ඉකුත් ආණ්ඩු කාලවලදී නඩු පවරනු ලැබූවන්ය. එහෙත් ඒ නඩු උසාවි එනවිට ජාජබ හැසිරෙන්නේ එය තමන්ගේ ආණ්ඩු කාලසීමාවේදී පවරන ලද්දක් ලෙසිනි.


1948 සිට 2024 දක්වා ගතවූ කාලය ජාජබ කියන හැත්තෑහය අවුරුදු සාපයයි. ඒ කාලසීමාවේදී පැවැති ආණ්ඩු විසින් කරන ලද අක්‍රමිකතා සියල්⁣ලම උහු ඒ ඒ ආණ්ඩුවලට පවරති. හෙත් ඒ කාලසීමාවලදී දේශපාලනඥයන්ට දූෂණ චෝදනා සම්බන්ධයෙන් පැවරුණු නඩු සියල්ලේ පොල්මක්කාර උරුමක්කාරයින් ඔවුන්ය.


මේ හාස්‍යජනක ජවනිකාව එතැනින් කෙළවර වන්නේ නැත. චූදිතයෙකු රිමාන්ඩ් කළ වහාම ඔවුහු "අපේ ආණ්ඩුව පොරොන්දු වූ පරිදි දූෂිතයන්ට දඬුවම් දුන්නා" යැයි ප්‍රීතිඝෝෂා කරති. ඒ රක්ෂිත බන්ධනාගාරගත කිරීම යනු චෝදනාවට වැරදිකරුවෙකු වීම නොවන බව නොදැන නොවේ.


බොහෝවිට චූදිතයෙකු රිමාන්ඩ් කරන්න යැයි පොලිසිය ඉල්ලා සිටින්නේ විමර්ශන අවසාන වී නොමැති බව කියමිනි. මෙතැන විහිළුව වන්නේ 2016 දී මුලින්ම අධිකරණයට හමුවට ගෙනෙනු ලැබූ නඩු කටයුතුවලද විමර්ශන තවමත් අවසන් වී නොමැති වීමය. එහෙත් ඒ ගැන ප්‍රශ්න කරන්නට කෙනෙක් නැත.


නීතිය ඉදිරියේ වරදක් කළ ඕනෑම කෙනෙකුට විරුද්ධව නඩු පැවරීම නීතිය රජකරන ඕනෑම සමාජයකට අමුතු දෙයක් නොවේ. එහිදී චූදිතයා හිටපු ජනාධිපතිවරයෙකුගේ දරුවෙකුද නැත්නම් හිටපු ජනාධිපතිවරයෙකුමද යන්න අදාළ නැත. එහෙත් විපක්ෂය චෝදනා කරන්නේ තමන්ට විරුද්ධව ඇති චෝදනාවලට සමාන චෝදනා ඇති ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට නඩු පැවරෙන්නේ නැති බවය.


ආණ්ඩුව තිස්පැයේම කියන්නේ නීතිය සියලුදෙනාටම සාධාරණව ක්‍රියාත්මක කරන බව වුවද, එය හුදු සම්පප්‍රලාපයක් පමණක් බව ඔවුන්ගේ අදහසයි. ජොන්ස්ටන් ප්‍රනාන්දුට නැගී ඇති චෝදනාවලට සමාන චෝදනා ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු වන කුමාර ජයකොඩිට විරුද්ධවද පවතින බව ඔවුහු මෙහිදී පෙන්වා දෙති. එහෙත් ජොන්ස්ටන් ප්‍රනාන්දුට නඩු පැවරී ඇතත් කුමාර ජයකොඩිට නඩු නැත.


ජොන්ස්ටන් ප්‍රනාන්දුට විරුද්ධව ඇති චෝදනාව වන්නේ තමන්ගේ යටතේ පැවැති අමාත්‍යාංශයක නිසි පරිදි අනුමතිය ලැබුණු කොන්ත්‍රාත්තුවක් අවලංගු කර ස්වාභිමතය පරිදි වෙනත් ආයතනයකට ලබාදීමෙන් රජයට රුපියල් මිලියන 7.4 ක අලාභයක් සිදුකිරීමය. කුමාර ජයකොඩිට ඇති චෝදනාව වන්නේ ඔහු රජයට අයත් පෝර සමාගමේ කළමනාකරුවෙකු හැටියට කටයුතු කරද්දී පෞද්ගලික කොම්පැණියකට වාසිවන අන්දමින් කොන්ත්‍රාත්තුවක් ලබාදීමෙන් රජයට රුපියල් මිලියන 8.8 ක අලාභයක් සිදුකිරීමය. එහෙත් කුමාර ජයකොඩිට නඩු නැත.


විපක්ෂය ආණ්ඩුවට විරුද්ධව නගන්නේ බොරු චෝදනා නොවන බව පෙනෙන්නේ මෙතැනදී ආණ්ඩුවේ කිසිවෙකු උත්තර බැඳීමට ඉදිරිපත් නොවන නිසාය. එහෙයින් සිස්ටම් චේන්ජ් කිරීමට සපථ කර බලයට පැමිණි මේ ආණ්ඩුවද කරන්නේ පැවැති දූෂිත ක්‍රමයම පවත්වාගෙන යෑම බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. එකම වරද කළ තමන්ගේ එකා ආරක්ෂා කරමින් තමන්ගේ විරුද්ධවාදියාට නඩු පවරන්නේ ඒ අනුවය.

 

More News..