brand logo
logo
ප්‍රදේශ රැසක ගොයම් කහවීමේ රෝගී තත්ත්වයක්

ප්‍රදේශ රැසක ගොයම් කහවීමේ රෝගී තත්ත්වයක්

23 January 2026 | ගලෙන්බිදුණුවැව - චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය

මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ගොයම් කහවීමේ තත්ත්වයක් වාර්තා වන අතර, මේ සඳහා ප්‍රධාන වශයෙන් වටපණු හානිය සහ පෝෂණ ඌනතා බලපා ඇති බව නාච්චාදූව කෘෂිකර්ම උපදේශක කාර්යාලය පවසයි. මෙම තත්ත්වය හේතුවෙන් වගාවන් දුඹුරු පුල්ලි දිලීර රෝගයට පාත්‍රවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවද නිරීක්ෂණය වී ඇත.


​ගොයමේ ලියද්ද තුළ ගොයම් ගස් කුරු වීම, වර්ධනය බාල වීම සහ කොළ කහ දුඹුරු පැහැ වීම මෙහි ප්‍රධාන ලක්ෂණ වේ. විශේෂයෙන්ම වටපණු හානිය පවතින විට ගොයම් ගසේ කිරි මුල්වල කෙළවර 'හොකී පිත්තක්' ආකාරයට මූල ගැටිති හටගන්නා බව කෘෂිකර්ම නිලධාරීන් පෙන්වා දෙයි.


​මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිර්දේශිත පොහොර සහ කීලේටඩ් ආකාරයේ ක්ෂුද්‍ර පෝෂක පොහොර යෙදීම සිදු කළ යුතුය. එමෙන්ම කුඹුරේ ජල මට්ටම අඟල් භාගයක් පමණ මට්ටමක පවත්වා ගැනීම, ගුණාත්මක දියර පොහොර භාවිතය සහ දිලීර හානි පවතී නම් නිර්දේශිත රසායනික දිලීර නාශක යෙදීම අත්‍යවශ්‍ය වේ.


​තම වගාවන්හි මෙවැනි රෝග ලක්ෂණ පවතී නම්, වහාම ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශකවරයා අමතා උපදෙස් ලබාගන්නා ලෙස නාච්චාදූව මූලස්ථාන කෘෂිකර්ම උපදේශක මහින්ද දිසානායක මහතා ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

 

More News..