brand logo
logo
එංගලන්තයට ලකුණු 55ක ජයක්

එංගලන්තයට ලකුණු 55ක ජයක්

29 October 2026

පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති තරගයෙන් ලකුණු 55ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.


තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 386ක් රැස් කළේය.


එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ බෙන් ඩකට් පන්දු 132කදී ලකුණු 167ක් රැස් කළ අතර, ටොම් බැන්ටන් ලකුණු 74ක් ලබාගත්තේය. පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු ලකුණු 63කට කඩුලු 2ක් දවාගත්තේය.


ලකුණු 387ක දැවැන්ත ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 13දී බිඳ වැටිණි. අනතුරුව අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 48ක් සහ නායක කුසල් මෙන්ඩිස් ලකුණු 89ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිමට ශක්තියක් එක් කළහ.

කුසල් මෙන්ඩිස් දැවී යාමෙන් පසු දසුන් ශානක ලකුණු 4කට දැවී යාමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි පීඩනයකට ලක්විය.


එහෙත් සටන අත්නොහළ පවන් රත්නායක සහ ජනිත් ලියනගේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු එක් කළහ. ජනිත් ලියනගේ ලකුණු 27ක් රැස් කළ අතර, පවන් රත්නායක සිය එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ තෙවැනි ශතකය වාර්තා කළේය.

කෙසේ වෙතත්, එංගලන්තය ලබාදුන් ලකුණු 387ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කළේ ලකුණු 331ක් පමණි.

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අනිද්දා පැවැත්වීමට නියමිතය.

 

More News..