brand logo
logo
සංගීත බලපත්‍රය රජයේ බද්දක් නොවේ -නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය

සංගීත බලපත්‍රය රජයේ බද්දක් නොවේ -නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය

23 September 2026 | නිර්මාණි තිලකසිරි

බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පියවරවල කොටසක් ලෙස, මංගල උත්සව, සාද, හෝටල්, බැංකු, සුපිරි වෙළෙඳසල්, ආයතනික උත්සව සහ වෙනත් උත්සව වලදී ඇතැම් සංගීතයන්ට බලපත්‍ර අවශ්‍ය කරන නව රෙගුලාසි බලාත්මකව ඇති බව ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය සඳහන් කරයි. ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය යටතේ ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) විසින් මෙයට අදාළව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවත් ඒ අනුව, හෝටල් සහ අනෙකුත් වාණිජ ස්ථානවල පැවැත්වෙන උත්සව සඳහා පොදු ප්‍රසංග පැවැත්වීමේදී (Public Performance) බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සමාජයේ වැරැදි මත සහ චෝදනා පැතිර යන බවත් එම සංගමය පෙන්වාදෙයි.


ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය අවධාරණය කරන්නේ මෙම ක්‍රමවේදය රජයේ තීරණයක් හෝ රජය විසින් පනවන ලද බද්දක් හෝ ගාස්තුවක් නොවන බවයි.


මෙය නිර්මාණකරුවන් තම නිර්මාණ සඳහා හිමි අයිතිවාසිකම් සහ සාධාරණ කර්තෘ භාගය ලබාගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ක්‍රමවේදයක් බවත් එහි සඳහන් වේ.


ඒ අනුව සංගීත කණ්ඩායමකට හෝ එහි සාමාජිකයන්ට මෙම උත්සව බලපත්‍ර ගාස්තුව ගෙවීම නියමකර නොමැති බවද වාණිජ ස්ථානවල සහ සංවිධානාත්මක උත්සවවලදී සංගීතය භාවිත කරන අවස්ථා සඳහා මෙම බලපත්‍ර ක්‍රමය මූලික වශයෙන් අදාළ වන බව ද එම සංගමය සඳහන් කරයි.


එමෙන්ම නිවසක පවුලේ සාමාජිකයන් සහ මිතුරන් සමග පෞද්ගලිකව පවත්වන සාමාන්‍ය ගෘහස්ථ උත්සව මෙහි ඉලක්කයක් නොවන බවද ඔවුන් අවධාරණය කර සිටියි.


මේ අතර, විවාහ සහ පෞද්ගලික උත්සව සඳහා දැනට පවතින ගාස්තු ක්‍රමවේදය සමාලෝචනය කරමින් සිටින බවත්, වඩාත් සාධාරණ හා සරල ගාස්තු ක්‍රමයක් හඳුන්වාදීමට අපේක්ෂා කරන බවත් ඔවුන් සඳහන් කරයි.


ඒ අනුව නගරයෙන් පිටත පිහිටි කුඩා හෝටල් පරිශ්‍ර සහ කුඩා පරිමාණයේ උත්සව සඳහාද වෙනම, සාධාරණ සහ පහසු ගාස්තු ක්‍රමයක් හඳුන්වාදීමට අවධානය යොමුකර ඇති බව එම සංවිධානය පවසයි.

 

More News..