brand logo
logo
ඡන්ද සටන් නැති ක්‍රිකට් නිලවරණයක් අද

ඡන්ද සටන් නැති ක්‍රිකට් නිලවරණයක් අද

31 March 2025

එළැඹෙන වසර දෙකක (2025-2027) කාල වකවානුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පත් කරගැනීමේ නිලවරණය අද (31 වැනිදා)කොළඹදී පැවැත්වීමට නියමිතය. එයට අදාළව යම් තනතුරු සඳහා කිහිපදෙනෙක් ඉදිරිපත් වී සිටියද, අවසන් මොහොතේ අවබෝධාත්මක ඉල්ලා අස්වීම් සමග අද දිනයේ සියලු තනතුරු නිතරගයෙන් පත්වනු ඇතැයි පැවසේ.


ක්‍රිකට් ආයතනයේ විධායක ධුරයන් 6ක් සඳහා පසුගිය ජනවාරි මස 22 වැනිදායින් අවසන් වූ නාමයෝජනා භාරගැනීමේ කාල සීමාවේදී යෝජනා ඉදිරිපත් වූ අතර ඉන් බහුතරය සුපුරුදු නිල මඬුල්ලේ මුහුණුම වේ. මෙවර නිලවරණයේ සුවිශේෂී කරුණක් වනුයේ, වත්මන් සභාපති ශම්මි සිල්වා ඡන්ද හිමි ක්‍රීඩා සමාජ 60න් 56ක ම ඡන්දයෙන් යෝජනා ස්ථීරව තිබීමයි. ඔහුට අමතරව ජයන්ත ධර්මදාස සහ සමන්ත දොඩන්වෙල යන නම් සභාපති ධුරයට යෝජනා වී තිබුණි.


නමුත් මෙවරද ශම්මි සිල්වා නිතරගයෙන් පත්වෙමින් ඉදිරි වසර දෙක සඳහා ද සභාපති ධුරය හෙබවීමට වරම් ලබනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. එසේම මොහාන් ද සිල්වා ඉල්ලා අස්වීමත් සමගින් උප ලේකම් ධුරයේ සිට එහි වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කළ ක්‍රිශාන්ත කපුවත්ත මෙවර එම ප්‍රධාන ලේකම් ධුරයට පත්වනු ඇතැයි පැවසේ. මෙවර උප ලේකම් ධුරය සඳහා ‍යෝජිත නාම යෝජනා තුනක් ඉදිරිපත් වී තිබුණිද අදාළ තනතුරට මේ අතරින් කව්රුන් පත්වනු ඇතිද යන්න ගැන පැහැදිළි තොරතුරක් වාර්තා නොවීය.

 

More News..