brand logo
logo
විදේශීය නෞකාවක කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට හදිසි ප්‍රතිකාර ලබාදීමට නාවික හමුදා සහාය

විදේශීය නෞකාවක කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට හදිසි ප්‍රතිකාර ලබාදීමට නාවික හමුදා සහාය

01 November 2026


විදේශීය නෞකාවක කාර්ය මණ්ඩල සාමාජිකයෙකු හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.


මෙලෙස රැගෙන විත් ඇත්තේ මාෂල් දූපත් ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ "MV SPIRIT OF TOKYO” භාණ්ඩ ප්‍රවාහන නෞකාව තුළ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයෙකි.


මෙරට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී මෙරට සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීමේ කලාපය තුළ මෙම නෞකාව යාත්‍රා කරමින් තිබී ඇති අතර එහිදී එම කාර්ය මණ්ඩල සාමාජිකයා නෞකාව තුළදී හදිසි අනතුරකට පත්ව තිබේ.


එහිදී ඔහුගේ හිසෙහි නලල ප්‍රදේශයට තුවාල වී අසාධ්‍ය තත්ත්වයට පත්ව ඇති අතර ඒ අනුව ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා ගොඩබිමට රැගෙන ඒමට අවශ්‍ය සහාය ලබා දෙන ලෙස එම නෞකාව වෙතින් කොළඹ සමුද්‍ර සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් ඇත.


ඒ අනුව වහා මැදිහත් වී ඇති නාවික හමුදාව අදාළ රෝගියා වෙත අවශ්‍ය වෛද්‍ය උපදෙස් එම නෞකාව වෙත සන්නිවේදනය කිරීමට කටයුතු කර තිබේ.


පසුව අද (01) දින අලුයම අදාළ නෞකාව වෙතින් රෝගියා ගාලු වරාය ආසන්නයට රැගෙන ඒමෙන් පසුව දකුණු නාවික විධානය වෙතින් P451 යාත්‍රාව යොදාවා ඔහුව ගොඩබිමට රැගෙන විත් වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමටද පියවර ගෙන ඇත.


නාවික හමුදාව පැවසුවේ කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් මෙරටට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් කලාපය තුළ මෙන්ම යාබද සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් කලාපය තුළ ද ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාව වෙත සහන සැලසීම සඳහා නාවික හමුදාව නිරන්තර සූදානමින් සිටින බවය.

 

More News..