Clean Colombo වැඩසටහනෙහි ප්‍රගතිය විමසීම පිළිබඳ සාකච්ඡාවක්
09 October 2026
Clean Colombo වැඩසටහනෙහි ප්‍රගතිය විමසීම පිළිබඳ සාකච්ඡාවක්
09 October 2026
Clean Sri Lanka - ‘Clean Colombo’ වැඩසටහනෙහි ප්‍රගතිය විමසීමේ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (09) පෙරවරුවේ පැවැත්විණි.
මෙම වැඩසටහන යටතේ මලාපවහන ජාලය, ජලාපවහන ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සහ වැඩිදියුණු කිරීම, පරිසර අලංකරණය, කැලිකසළ කළමනාකරණය විධිමත් කිරීම ඇතුළු වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කෙරේ.
මෙහිදී අදාළ ආයතන විසින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිය සහ ක්‍රියාකාරී සැලසුම් සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
කොළඹ මහ නගර සභාව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මෙම වැඩසටහන හා සම්බන්ධ වන ප්‍රධාන ආයතන වන අතර, එම ආයතන විසින් සකස් කළ ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසීමද මෙහිදී සිදුවිය.
මීට අමතරව ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සමාජීය යහපැවැත්ම, පාරිසරික තිරසාරභාවය සහ ආචාරධාර්මික පුනරුදයක් සදහා පුරවැසියාගේ හැසිරීම් වෙනස් කිරීම වෙනුවෙන් දිවයින පුරා ක්‍රියාත්මක විවිධ වැඩසටහන් කොළඹට අදාළ වැඩසටහන් Clean Colombo වැඩසටහන යටතේ ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී අවධාරණය කෙරිණි.
ජනාධිපති අතිරේක ලේකම් (ක්ලීන් ශ්‍රී ලංකා) එස්. පී. සී සුගීෂ්වර ඇතුළු ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ නියෝජිතයින්, කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති හේමන්ත වීරකෝන් ඇතුළු කොළඹ නගර සභාවේ නියෝජිතයින්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නියෝජිතයින්, නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජිතයින්, මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජිතයින්, ශ්‍රී ලංකා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජිතයින්, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

