brand logo
logo
 කොළඹ සුඛෝපබෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු

කොළඹ සුඛෝපබෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු

05 November 2026

ගෑස් අර්බුදය හේතුවෙන් කොළඹ පිහිටි සුඛෝපබෝගී මහල් නිවාස සංකීර්ණවල වෙසෙන ජනතාවට ගෑස් සැපයීමේ ගැටලුවක් උද්ගත වී ඇතැයි පැවසේ.


කොළඹ සුඛෝපබෝගී මහල් නිවාස සංකීර්ණවල නිවාස සඳහා නළ මාර්ග පද්ධතියක් ඔස්සේ ගෑස් බෙදාහරින අතර ර‌ටේ මේ දිනවල පවතින ගෑස් හිඟය හේතුවෙන් නිවාසවලට ගෑස් සැපයීමේදී ගැටලුවලට මුහුණ පෑමට සිදුව ඇත.


මේ අතර කොළඹ ගාලුමුවදොර පිටිය ආසන්නයේ පිහිටි ප්‍රධාන පෙළේ සුඛෝපබෝගී මහල් නිවාස සංකීර්ණයක පදිංචිකරුවන්ට අත්‍යවශ්‍ය අවස්ථාවකදී පමණක් ගෑස් භාවිත කරන ලෙස එම මහල් නිවාස සංකීර්ණයේ කාර්ය මණ්ඩලය කෙටි පණිවුඩයක් මගින් දැනුම් දී තිබිණි. එම මහල් නිවාස සංකීර්ණයේ විදෙස් තානාපතිවරු, ව්‍යාපාරිකයෝ ඇතුළු බොහෝදෙනෙක් පදිංචි වී සිටිති. එම මහල් නිවාස සංකීර්ණය මේ වන විට සිය අවසාන ගෑස් තොගය භාවිත කරමින් සිටින බවත් ඉතිරි ප්‍රමාණය ආරක්ෂා කරගැනීමට විදුලියෙන් ක්‍රියාත්මක වන උපකරණ භාවිත කරන ලෙසත් පදිංචිකරුවන්ට දැනුම් දී ඇත.


නාරාහේන්පිට පිහිටි මහල් නිවාස සංකීර්ණයක ද මෙම මාසයට පමණක් ප්‍රමාණවත් පරිදි ගෑස් තිබුණද දෙසැම්බර් මාසයේදී භාවිත කිරීමට ගෑස් තොග නොමැතිවීම හේතුවෙන් එම මහල් නිවාස සංකීර්ණයේ කාර්ය මණ්ඩලය දැඩි අසීරුතාවට පත්ව සිටී.

තවද ඇතැම් මහල් නිවාස සංකීර්ණවලට ‘හෝම් ඩිලිවරි’ ක්‍රමය ඔස්සේ ගෑස් සිලින්ඩර සැපයෙන අතර මේ දිනවල එම සේවාවන් ද නවතා දමා ඇතැයි පදිංචිකරුවෝ කියති.


මේ අතර ගෑස් නොමැතිවීම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල ජනතාව ඊයේ (04 වැනිදා) දැඩි අසීරුතාවට පත්ව සිටියහ. ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ නොවැම්බර් මාසයේදී ගෑස් රැගත් නෞකා තුනක් ගෙන්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි. හම්බන්තොට පර්යන්තය හරහා දේශීය වෙළෙදපොළට ගෑස් සැපයීමට අවශ්‍ය අනුමැතීන් ලබා ගැනීමට බලධාරින් සමග කටයුතු කරමින් සිටින බවද එම සමාගම දන්වා සිටියි.


ඒ අනුව නොවැම්බර් 12-14 දිනවල, නොවැම්බර් 24-28 අතර දිනවල හම්බන්තොට වරායට නැව් දෙකක් සහ නොවැම්බර් 15-17 අතර දිනවලදී කොළඹ වරායට එක් නැවක්ද පැමිණීමට නියමිත බව ලාෆ්ස් ගෑස් සමාගම දන්වා සිටියි.


මෙරට ගෑස් සැපයුම පවත්වාගෙන යෑමට හම්බන්තොට පර්යන්තය දේශීය සැපයුම සඳහා භාවිත කිරීමට මාස තුනක තාවකාලික අවසරයක් ලබාදෙන ලෙස ලාෆ්ස් ටර්මිනල්ස් සමාගම ඉල්ලීම් ඉදිරිපත් කර ඇත. අතිරේක සැපයුම් ආරක්ෂණ පියවරක් ලෙස 2027 වසරේ ජනවාරි මාසයේ සිට කොළඹ වරාය වෙත ඍජුව සැපයීම සඳහා නව ටෙන්ඩරයක් ද සිය සමාගම කැඳවා ඇති බව ලාෆ්ස් ගෑස් සමාගම සඳහන් කරයි.

 

More News..