brand logo
logo
සැකකරුවෙකු`මියයාමේ සිද්ධියට පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට

සැකකරුවෙකු`මියයාමේ සිද්ධියට පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට

01 November 2026


කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයෙකු හෙට (02) දින දක්වා රක්ෂිත බන්ධනාගරගත කරන ලෙස නිකවැරටිය මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. 


අදාළ සැකකාර පොලිස් නිලධාරියා අද (01) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.


කොබෙයිගනේ, බැද්දේගම ප්‍රදේශයේදී සොරකම් කිහිපයකට සම්බන්ධ බව කියන පුද්ගලයෙකු පසුගිය ඔක්තෝබර් 25 වැනි දින දහවල් ප්‍රදේශවාසීන් විසින් අල්ලා කොබෙයිගනේ පොලිසියට භාර දී තිබිණි.


ඉන් අනතුරුව දින දෙකක් පුරා ඔහු පොලිස් අත්අඩංගුවේ පසුවී ඇති අතර, ඉකුත් 27 වැනි දින රාත්‍රියේදී නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් ඇත.


මෙම මරණයත් සමඟ රාජකාරිය පැහැර හැරීම මත අදාළ පොලිස් ස්ථානයේ සැරයන්වරුන් දෙදෙනෙකුගේ සහ කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිසිය පියවර ගත්තේය.


ඒ අනුව, මේ වනවිට එම සිද්ධියට සම්බන්ධයෙන් එම පොලීසියේ රාජකාරි සිදුකළ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇත.


එමෙන්ම මියගිය පුද්ගලයා පොලිස් භාරයේ පසුවී මියයෑමේ සිද්ධියෙන් පසු, ඔහුව අල්ලා පොලිසියට භාර දුන් ප්‍රදේශවාසීන් පස් දෙනෙකුද කොබෙයිගනේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට පත් වූ පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, මේ දක්වා ඔවුන් නිදහස් කර නොමැත.


කෙසේ වෙතත්, අත්අඩංගුවට පත් වූ ගම්වාසීන්ගේ ඥාතීන් පොලිසියට එරෙහිව දැඩි චෝදනා නංවයි.


සැකකරු අල්ලා ගසක බැඳ පැයක් ගතවීමටත් මත්තෙන් පොලිසිය දැනුවත් කර කිසිදු උපද්‍රවයකින් තොරව ඔහු නිරපද්‍රිතව පොලිසියට භාර දුන් බව ඔවුන් පවසති.


එලෙස භාර දෙන අවස්ථාවේ යම් පහරකෑමක් සිදුවී තිබුණි නම්, ඔහු මරණයට පත්වීමට මත්තෙන් රෝහල්ගත කිරීමට පොලිසිය කටයුතු කළ යුතුව තිබූ බව ඥාතීන් පෙන්වා දෙයි.


මීට පෙරද මෙම මියගිය පුද්ගලයාගේ සොරකම් සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී පොලිසිය දැනුවත් කර තිබූ බවත්, එවිට පොලිසිය විසින් ඔහුව අල්ලා තමන් වෙත භාර දෙන ලෙස උපදෙස් දී තිබූ බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.


සිද්ධිය සම්බන්ධයෙන් කොබෙයිගනේ පොලිසිය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වැඩිදුර පුළුල් පරීක්ෂණ පවත්වයි.

 

More News..