විශේෂඥ වෛද්‍යවරු 570ක් සේවයේ නැහැ
08 August 2025 | නිලන්ත මදුරාවල
විශේෂඥ වෛද්‍යවරු 570ක් සේවයේ නැහැ
08 August 2025 | නිලන්ත මදුරාවල
මේ වන විට සේවය හැර ගොස් සිටින සහ ඉල්ලා අස්වූ විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව 570ක් පමණ වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේ දී ඊයේ (07 වැනිදා) පැවසීය.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි නිශාන්ත සමරවීර ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
වයස අවුරුදු 60ට වැඩි විශේෂඥ වෛද්‍යවරුන් 201 දෙනෙක් සිටින බවත් අවුරුදු 55-60 අතර වයසේ පසුවන විශේෂඥ වෛද්‍යවරු 544 දෙනෙක් සිටින බවත් කී ඇමැතිවරයා මෙසේද කීවේය.
ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාමේ දී වෛද්‍යවරුන් යම්කිසි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. විදේශ රටවලට ගිය වෛද්‍යවරුන් පුහුණුවීම් අවසන් කොට මෙරටට නොපැමිණෙන ප්‍රමාණය සියයට 60ක් 65ක් පමණ වෙනවා. ඔවුන් මෙරටට පැමිණි පසුව දුර බැහැර රෝහල්වලට යාමට සිදුවීමෙන් යළි විදේශ ගතවන තත්ත්වයක් තිබෙනවා. නමුත් වැටුප් දීමනා ඇතුළු පහසුකම් ලබාදෙන්න සහ රෝහල්වල පහසුකම් ලබාදෙන්න අපේ අවධානය යොමුව තිබෙනවා. පවතින තත්ත්වය අනුව සංඛ්‍යාව වැඩිකරන්න සහ ඉන්න අය රඳවා ගන්න ක්‍රමානුකූලව කටයුතු කරගෙන යනවා. ඒ අයගේ පුහුණුවට මේ රටේ ජනතාවගේ මුදල් යොදවා තිබෙන්නේ. අපේ රට සෞඛ්‍ය අතින් ඉහළට ගන්න අපිට පුළුවන් වෙයි. ඒ යුතුකම විශේෂඥ වෛද්‍යවරුන් ඉටුකරයි කියා හිතනවා. ඒ සඳහා විවෘත ආරාධනාවක් කරනවා. ඔවුන්ට තිබෙන බාධාවන් ඉවත් කිරීම සඳහා රජය සූදානම්. දරුවන් පාසල්වලට ඇතුළත් කරගැනීම හෝ ප්‍රවාහන පහසුකම් ආදියට අපි මැදිහත් වෙන්න කටයුතු කරනවා.

