brand logo
logo
ෆේස් බුකියෙන් නිවන පෙන්වා සල්ලි ගරලා

ෆේස් බුකියෙන් නිවන පෙන්වා සල්ලි ගරලා

07 November 2025 | ඉෂාර රත්නකාර

‘පන්සිය පනස් ජාතක කතා වස්තුව’ ඇතුළු විවිධ නම්වලින් ෆේස්බුක් පිටු සකසා පිළිකා රෝගී දරුවන්ගේ තොරතුරු ඇතුළත් කරමින් විවිධ දැන්වීම් පළ කර ඉතා සූක්ෂම අයුරින් මුදල් වංචා කළ කණ්ඩායමක් පිළිබඳව විමර්ශන පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (6 වැනිදා) දන්වා සිටියේය.


මෙම සැකකරුවන් පන්සිය පනස් ජාතක කතා වස්තුවට අමතරව ‘ස්වර්ණමාලි සෑරදුන් අභියස, ආශීර්වාද පූජා, පිරුණු හදවත්, නිවන් මඟට දහම් බිඳක්, මගේ බබාට කෑම, දරු සුරතල් ප්‍රමාද සැමට, Nursing Sri Lanka, යුරෝපයේ අපි නමින් ෆේස්බුක් පිටු සකසා ඒ ඔස්සේ පිළිකා රෝගී දරුවන්ගේ දැන්වීම් පළකරමින් මෙලෙස රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කර තිබෙන බව අනාවරණය වී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම වෙත විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් දන්වා සිටි​යේය.


පිළිකා රෝගියකු වන තම දියණියගේ ඡායාරූප, තොරතුරු හා විවිධ බැංකු ගිණුම් ඇතුළත් කර සමාජ මාධ්‍ය හරහා පළකර වංචනික අයුරින් මුදල් එක් රැස් කර තිබෙන බව සඳහන් කරමින් ඇත්කඳුර ප්‍රදේශයේ පදිංචි අයකු විසින් කරන ලද පැමිණිල්ලක් ඔස්සේ කළ විමර්ශනයේදී අදාළ කරුණු අනාවරණය වූයේ යැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.


මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනවලදී අත්අඩංගුවට ගත් ඕපනායක දන්දෙනිය පදිංචි වලේබඩගේ චමිල් සඳරුවන්, රක්වාන පදිංචි බාදුරාදෙණිය ආරච්චිගේ මුසාන් ෂාමින්ද, ඕපනායක පදිංචි කුරුප්පු මුදියන්සේලාගේ හර්ෂ චතුරංග යන සැකකරුවන් තිදෙනා, එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.


පිළිකා රෝගී අයගේ දැන්වීම් සමාජ මාධ්‍ය ඔස්සේ පළකරමින් මෙවැනි වංචනික ක්‍රියා සිදුකරන බවට වන දැන්වීම් සහ අවශ්‍ය දැනුවත් කිරීම් පොලිසිය හරහා සිදුකරන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් නියෝග කළේය.

 

More News..