SLIIT 11 වන වරටත් Soft Skills+ වැඩමුළුව අති සාර්ථකව පවත්වයි
24 July 2025
SLIIT 11 වන වරටත් Soft Skills+ වැඩමුළුව අති සාර්ථකව පවත්වයි
24 July 2025
SLIIT ව්‍යාපාර කළමනාකරණ පීඨය මගින් සංවිධානය කරන ලද Soft Skills+ 2025 වැඩසටහන, SLIIT හි ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පසුගියදා ඉතා සාර්ථක අන්දමින් පැවැත්විණි. වර්තමාන ලෝකයේ වෙනස්වන අවශ්‍යතාවන්ට ගැලපෙන ආකාරයට පාසල් සිසුන්ගේ පෞරුෂත්වය හා වෘත්තීය මෘදු කුසලතා වර්ධනය කිරීමේ අරමුණින්, මෙම වැඩසටහන අඛණ්ඩව 11 වන වරටත් පවත්වන ලද අතර, PMF ෆිනෑන්ස් PLC හි අධ්‍යක්ෂ බණ්ඩාර රේකෝගම මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
11 සිට 13 දක්වා ශ්‍රේණිවල සිසුන් ඉලක්ක කරගනිමින් සැලසුම් කර ඇති මෙම වැඩසටහන, පෞරුෂ සංවර්ධනය, නායකත්ව ගොඩනැගීම, කණ්ඩායම් ක්‍රියාකාරකම්, නිර්මාණාත්මක චින්තනය, සහ ගැටලු විසඳීමේ කුසලතා වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබුණි. රාජ්‍ය, පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්වල සිසුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ආචාර්ය නිලංග අබේසිංහ මහතා “විශ්වාසවන්ත අනාගතයක් සඳහා මෘදු කුසලතා ප්‍රගුණ කිරීම” යන තේමාව යටතේ සිසුන් සඳහා වැඩමුළුවක් පැවැත්වූ අතර, මහාචාර්ය රේණුකා හේරත් මහත්මිය විසින් “ඵලදායී ඉගැන්වීම සඳහා මෘදු කුසලතා වැඩිදියුණු කිරීම” යන තේමාව යටතේ ගුරුවරුන් සඳහා මාර්ගගත වැඩමුළුවක් පවත්වන ලදී. දිවයින පුරා විසිර සිටින පාසල් ගුරුවරුන්ට විවෘතව පැවති මෙම වැඩමුළුව, මෘදු කුසලතා වර්ධනයට ප්‍රමුඛත්වය ලබාදෙමින්, සහභාගිවූවන්ට ඔවුන්ගේ සහභාගිත්වය වෙනුවෙන් සහතිකපත්‍රද පිරිනමන ලදී.
මෙම වැඩසටහනේ තවත් විශේෂ අංගයක් වූයේ අන්තර් පාසල් ප්‍රශ්නාවලි තරගාවලියයි. පාසල් 22කින් කණ්ඩායම් 45කට අධික පිරිසක් ඊට සහභාගී වූ අතර, මාතර සාන්ත සර්වේශස් විද්‍යාලීය කණ්ඩායම සමස්ත ජයග්‍රාහකයින් බවට පත්වූ අතර, රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලීය කණ්ඩායම් පළමු හා දෙවන අනුශූරතා ලෙස නම් කරන ලදී.
මෙම අවස්ථාව පිළිබඳව SLIIT ව්‍යාපාර කළමනාකරණ පීඨාධිපති මහාචාර්ය සුරේන් පීටර් මහතා පැවසුවේ, “Soft Skills+ යනු වැඩමුළුවකට එහා ගිය, අපගේ තරුණ පරපුරට හා සමාජය තුළ සිදු කරන සුවිශේෂී ආයෝජනයකි. මෘදු කුසලතාවලට ප්‍රමුඛත්වය ලබාදෙමින්, සිසුන් තුළ විශ්වාසය ගොඩනඟමින්, ඔවුන්ගේ තරුණ මනස ගවේෂණය කිරීමට, විමසීමට, අන් අයගෙන් ඉගෙන ගැනීමට, නායකත්වය ලබාදීමට, සහ ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේදී පැන නගින ගැටලු විසඳීම සඳහා නව්‍ය හා නිර්මාණශීලීව සිතීමට දිරිමත් කරනවා. එමෙන්ම, උපාධි අපේක්ෂකයින් ලෙස ඔවුන්ගේ අනාගත සාර්ථකත්වය සඳහා මෙය ශක්තිමත් අඩිතාලමක් වනු ඇතැයි මම විශ්වාස කරනවා.”
Soft Skills+ වැනි වැඩසටහන්, විෂය පථයෙන් හා සාමාන්‍ය ක්‍රියාකාරකම්වලින් ඔබ්බට ගොස්, සාර්ථක අනාගතයකට අවශ්‍ය මෘදු කුසලතා වර්ධනය කිරීම තුළින්, ධෛර්යසම්පන්න, සහයෝගි, හා සංවේදී පුද්ගලයින් බිහි කිරීමට විශේෂ දායකත්වයක් ලබා දෙයි. මෙවැනි උත්සාහයන් හරහා SLIIT ආයතනය, දැනුමෙන් පොහොසත් සමාජයක් ගොඩනැගීම සඳහා අනාගත නායකයින් බිහි කිරීමට නිරතුරුවම කැපවී සිටී.