brand logo
logo
වීදි සතුන්ගේ ජීවිත සුරැකීම සැමගේ වගකීමක් - අගමැතිනිය

වීදි සතුන්ගේ ජීවිත සුරැකීම සැමගේ වගකීමක් - අගමැතිනිය

17 July 2026


සුරතල් සතුන් ඇති කිරීම සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන අතරම, වීදිවල සිටින සතුන්ගේ ජීවිත සුරැකීම ද සැමගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. 


ඇය මේ බව ප්‍රකාශ කළේ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්ණ ශාලාවේදී අද (17) ආරම්භ වූ "PET EXPO 2026" ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි. 


ශ්‍රී ලංකා සුරතල් සත්ත්ව පශු වෛද්‍යවරුන්ගේ සංගමය විසින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබුණි. 


වීදි සතුන්ගේ සුරක්ෂිතභාවය හා සුබසාධනය වෙනුවෙන් සමාජය දැනුවත් කිරීම සඳහා ප්‍රදර්ශන භූමියේ වෙන් කර තිබූ "ආලෝකා" ප්‍රදර්ශන කුටිය නිරීක්ෂණය කිරීමට ද අග්‍රාමාත්‍යතුමිය කටයුතු කළාය. 


එහිදී වීදි බලු පැටවෙකු රැකවරණය සඳහා ඉල්ලුම්කරුවෙකු වෙත නිල වශයෙන් භාර දෙමින් අග්‍රාමාත්‍යතුමිය විසින් එම කුටියේ කටයුතු නිල වශයෙන් ආරම්භ කළාය. 


මෙරට තුළ පශු වෛද්‍ය සේවාව ඉදිරි දැක්මක් සහිතව දියුණුවෙමින් පැවතීම පිළිබඳව තමන් සතුටු වන බවත් පන්සල් වැනි පොදු ස්ථානවල කුඩා සුනඛ සහ බළල් පැටවුන් දමායාම වැරදි අදර්ශයක්වී ඇති බවත් වීදි සතුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.


එමෙන්ම සත්ව සුබසාධනය සඳහා වන කැබිනට් පත්‍රිකාවක් අනුමත කිරීමට හැකි වී තිබීම තුළින්, සතුන්ගේ ජීවිත යහපත් කිරීම පිණිස ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට රජයට අවස්ථාව ලැබෙන බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.  


මෑතකදී ලෝකයේ ප්‍රසිද්ධියට පත් වූ ශ්‍රී ලංකාවේ දියණියක සහ ඉත්තෑවකු අතර ඇති වූ සුවිශේෂී සත්ව සබැඳියාව සිහිපත් කරමින් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ, සුරතල් සතුන් සහ දරුවන් අතර පවතින සබඳතාවය දරුවන්ගේ ජීවිතවලට අතිශය වැදගත් වන බවය. 


සතුන් සමඟ ජීවත්වීම තුළින් දරුවන්ගේ ජීවිතවලට සහකම්පනය, ආදරය සහ කරුණාව වැනි ගුණාංග ප්‍රායෝගිකව එක් කරගත හැකි බව ද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය. 

 

More News..