brand logo
logo
ජාතික දන්ත රෝහලේ ගැටලු රැසක් ගැන දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

ජාතික දන්ත රෝහලේ ගැටලු රැසක් ගැන දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

13 October 2026

ජාතික දන්ත රෝහලේ යටිතල පහසුකම්, කාර්ය මණ්ඩලය සහ පරිපාලනය සම්බන්ධ බරපතළ ගැටලු රැසක් පවතින බව රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමය පෙන්වා දෙනුයේ මේ හේතුවෙන් රෝගී ආරක්ෂාව සහ සෞඛ්‍ය සේවා සැපයීම කෙරෙහි බලපෑම් ඇති කළ හැකි බවය.

රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරනුයේ රෝහලේ ඇතැම් ගැටලු වසර ගණනාවක් තිස්සේ පවතින නමුත් ඒවාට ප්‍රමාණවත් විසඳුම් මෙතෙක් ලබාදී නොමැති බවත්ය.

වාට්ටුව සහ දැඩි සත්කාර ඒකකයේ වායු සමීකරණ නළවලින් වසර හයකට වැඩි කාලයක් ජලය කාන්දු වන බවත්, ඒ හේතුවෙන් විදුලි සැර වැදීමේ අවදානමක් සහ පොළව තුළ ලිස්සා වැටීමේ අවදානමක් ඇති බවත් සංගමය පෙන්වා දී තිබේ.

එමෙන්ම වාට්ටුව සහ දැඩි සත්කාර ඒකකයේ වහල කොටස් වසර හතරකට වැඩි කාලයක් තිස්සේ විනාශයට පත්ව ඇති බැවින්, දැඩි සත්කාර ඒකකයේ බිත්ති සහ වහලවල වසර තුනකට වැඩි කාලයක් දිලීර වර්ධනයක් පවතින බවත් නිවේදනයේ සඳහන් වේ.

දිනකට රෝගීන් 350ත් 400ත් අතර පිරිසකට සේවා සපයන බාහිර රෝගී අංශයේ දන්ත වෛද්‍ය පුටු 12 අතරින් එක් පුටුවක් වසරකට වැඩි කාලයක් ක්‍රියා නොකරන බවත් තවත් පුටුවක් අර්ධ වශයෙන් පමණක් ක්‍රියාත්මක වන බවද සංගමය සිය නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

මේ අතර, ශල්‍යාගාරය සහ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය නිලධාරීන්ගේ හිඟයක් පවතින බවත්, එය ශල්‍ය සේවා කොටසක් සීමා කිරීමට සහ මුඛ පිළිකා රෝගීන් ඇතුළු රෝගීන්ට ලබාදිය යුතු කාලීන ප්‍රතිකාර ප්‍රමාද වීමට හේතු වී ඇති බවත් සංගමය චෝදනා කර ඇත.

ජාතික දන්ත රෝහලේ පැය 24 හදිසි ප්‍රතිකාර සේවාවක් සහ මුඛ හා හනු ශල්‍ය හදිසි සේවාවක් පවත්වාගෙන යන නමුත්, පසුගිය ඔක්තෝබර් 1 වැනිදා සිට රෝහල් දුරකථන හුවමාරු පද්ධතිය වසා දැමීම හේතුවෙන් සන්නිවේදන ගැටලු මතුව ඇති බවද නිවේදනයේ සඳහන් වේ.

සෞඛ්‍ය සහායකයින් සහ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ හිඟයක්ද රෝහල තුළ පවතින බව පවසන එම සංගමය, එම තත්ත්වය දැනට සේවයේ නියුතු කාර්ය මණ්ඩලයට අමතර පීඩනයක් ඇති කරන බවත් රෝගීන්ගේ ප්‍රතිකාර ප්‍රමාද වීමටද හේතු විය හැකි බවද පෙන්වා දී ඇත.

මහල් නවයකින් සමන්විත රෝහලේ විදුලි සෝපාන දෙකක් පමණක් පවතින නමුත්, ඉන් එකක් පසුගිය 3 වැනිදා සිට අක්‍රීයව පවතින බවද සංගමය සඳහන් කරයි.

එමෙන්ම 2017 වසරේ විවෘත කළ රෝහල් සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියරෙන් පසු දෙවැනි අදියරේ ඉදිකිරීම් මෙතෙක් ආරම්භ කර නොමැති බවත්, ඒ සඳහා සවි කර ඇති යකඩ මලකඩ කෑමට පටන්ගෙන ඇති බවත් නිවේදනයේ සඳහන් වේ.

2017 සිට දෛනික රෝගී සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගියද, ඒ අනුව රෝහලේ සේවා ධාරිතාව වැඩි කිරීමට, දන්ත ශල්‍ය වෛද්‍ය තනතුරු සංඛ්‍යාව ඉහළ නැංවීමට හෝ දන්ත වෛද්‍ය පුටු සහ විශේෂිත ඒකක වැඩි කිරීමට මෙතෙක් ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බවද එම සංගමය චෝදනා කර තිබේ.

මෙම තත්ත්වයන් සාමාන්‍ය නඩත්තු ගැටලු ලෙස නොසලකා හැරිය යුතු බව අවධාරණය කරන රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය, අදාළ බලධාරීන් වහාම මැදිහත් වී යටිතල පහසුකම්, කාර්ය මණ්ඩල හිඟය, සන්නිවේදන ගැටලු සහ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් නිශ්චිත කාලසීමාවක් සහිත ක්‍රියාමාර්ග ගත යුතු බවද සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

More News..