ප්‍රබල කසකස්තානය පැරැදූ ශ්‍රී ලංකා වොලිබෝල් පිලට තීරණාත්මක තරගයක් අද
27 July 2026
ප්‍රබල කසකස්තානය පැරැදූ ශ්‍රී ලංකා වොලිබෝල් පිලට තීරණාත්මක තරගයක් අද
27 July 2026
පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවලියේ දෙවැනි ජය වාර්තා කිරීමට කසකස්තානය තරග වට 3-0ක් ලෙස පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඊයේ (26 වැනිදා) සමත් වූහ.
තරගය ආරම්භයේදී වැඩි දක්ෂතා දැක්වූ කසකස්තාන ක්‍රීඩකයෝ පළමු වටයේ පෙරමුණ හිමිකරගත් අතර අවසන් ලකුණු කිහිපය දක්වා ඉදිරියෙන් සිටීමට සමත් වූහ. කෙසේ වෙතත් කසකස්තාන කණ්ඩායම ලකුණු 20ක් ලබා සිටියදී ලකුණු 2ක් පිටුපසින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිට ලකුණු 3ක් සමගින් ඉදිරියට පැමිණි අතර ලකුණු 25-22ක් ලෙස පළමු වටය ජය ගැනීමට සමත් විය.
දෙවැනි වටයේදී ආරම්භයේ සිටම අවසානය දක්වා පෙරමුණ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සතු වූ අතර එක අවස්ථාවක ලකුණු 12-4ක් ලෙස ශ්‍රී ලංකා පිල ප්‍රබල තත්ත්වයක පසුවිය. ඒ අනුව දෙවැනි වටයෙන් ලකුණු 25-19ක පහසු ජයක් ශ්‍රී ලංකාව සතු විණි. තෙවැනි වටයේදී කිසිදු පීඩනයකින් තොරව තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී ද ආරම්භයේ සිට ඉදිරියෙන් සිටිමින් ලකුණු 25-20ක පහසු ජයක් වාර්තා කළ අතර ඒ අනුව තරගයේ ජය හිමිකර ගත්තේය.
මූලික වටය යටතේ ශ්‍රී ලංකාවට හිමි අවසන් තරගය අද (27 වැනිදා) බංග්ලාදේශය සමගින් මෙරට වේලාවෙන් පස්වරු 1.30ට පැවැත්වීමට නියමිතය. මේ වන විට තරග 4කින් 2ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 5ක් සමග ලකුණු සටහනෙහි සිව්වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා අද තරගයේ ප්‍රතිඵලය තීරණාත්මක වේ.

