brand logo
logo
අනියම් සැමියා සමග එක්ව දියණිය මව මරා දමා ඇත්තේ රන් බඩු තණ්හාවට

අනියම් සැමියා සමග එක්ව දියණිය මව මරා දමා ඇත්තේ රන් බඩු තණ්හාවට

20 May 2026 | හේෂාර සේනාල් සෝමරත්න - අනුරාධපුර

දහස් සංඛ්‍යාත පිරිසක් විදේශ රැකියා සඳහා පිවිසෙන්නේ ආර්ථික ප්‍රශ්න හේතුවෙනි. එලෙස විදේශගත වන මවුවරුන්, පියවරුන් දහදිය කඳුළු සලමින් මුදල් උපයන්නේ තම දරුවන්ගේ අනාගතය ද මල්පල ගැන්වීමටය.


වසර විසි හතරක කාලයක් විදේශගතව ගෘහ සේවයේ නිරත වූ පී. පද්මලතා ද අනුරාධපුර තිරප්පනේ ප්‍රදේශයේ පදිංචි එවැනි මාතාවකි. ඇය උපයාගත් මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑමේ අරමුණින් ඇය ඝාතනය කර තිබුණේ ඇය විසින්ම ලොවට දායාද කළ දියණිය විසින් යැයි අප කෙසේ නම් විශ්වාස කරන්නද? විමර්ශනවලදී හෙළිව ඇත්තේ ඇය මෙම සහාසික අපරාධය සිදු කර ඇත්තේ ඇයගේ අනියම් සැමියා සමග එක්ව බවයි.


මෙකී ඝාතනයේ සියලු තොරතුරු අනාවරණය කරගැනීමට තිරප්පනේ පොලිසියට හැකිවූයේ සූක්ෂම ලෙස කළ විමර්ශනයක ප්‍රතිඵලයක් වශයෙනි.


තිරප්පනේ නගර සීමාවේ ඇතුන්ගම මංසන්ධියට ආසන්න නිවෙසක ජීවත් වූ පී. පද්මලතා නමැති 65 හැවිරිදි කාන්තාව අබිරහස් ලෙස මියගොස් තිබුණේ පසුගිය 12 වැනිදා ය. නිවසේ නිදන කාමරයේ ඇඳ මතදීම එම කාන්තාව මියගොස් තිබිණි. ඇය සමග ජීවත්වූ දියණිය ද පොලිසියට දැනුම් දී තිබුණේ අසනීප තත්ත්වයෙන් මව නිදියහනේදීම මියගොස් ඇති බවයි.


කෙසේ වෙතත් මෙම මරණය සැකසහිත බැවින් පොලිසිය තීව්‍ර ලෙස විමර්ශන ආරම්භ කළේය. මෙම කාන්තාව පදිංචි නිවසේ ජිවත් වූ දියණිය, දියණියගේ අනියම් පෙම්වතා බව කියන පුද්ගලයා සහ පවුලේ ඥාතීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට පොලිසිය පියවර ගෙන තිබුණේ ඒ අනුවය. ඔවුන්ගේ ප්‍රකාශ පරස්පර වීම හේතුවෙන් මෙය ඝාතනයක් බවට සැක කරමින් පොලිසිය තවදුරටත් විමර්ශන සිදුකළේය.


ඒ අනුව මෙම මරණය සම්බන්ධයෙන් සැකපිට මිය ගිය තැනැත්තියගේ දියණිය, දියණියගේ අනියම් පෙම්වතා සහ මියගිය කාන්තාවගේ සහෝදරියක දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කළ පසුගිය 15 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ. වැඩිදුර විමර්ශනවලදී අනාවරණයවී තිබුණේ මුදල් ආරාවුල් හේතුවෙන් දියණිය සිය අනියම් පෙම්වතා සමග එක්ව මෙම ඝාතනය සිදුකර ඇති බවයි.


මියගිය කාන්තාව වසර 24කට ආසන්න කාලයක් විදෙස්ගත ගෘහ සේවයේ නිරතව සිටි තැනැත්තියකි. ඇය විදෙස්ගතව රැකියාවේ නිරතව සිටි සමයේ බාල දියණිය විවාහ වී තිබිණි. අනතුරුව එම කාන්තාව විසින් සිය බාල දියණිය හා ඇයගේ සැමියා විදේශ ගෘහ සේවය සඳහා ගෙන්වාගෙන ඇත.


ඒ අනුව බාල දියණිය ද වසර 14ක පමණ කාලයක් විදෙස්ගතව සිට මෙරටට පැමිණ තිබිණි. ඒ අතරතුර ඇයගේ විවාහය ද අසාර්ථක වී ඇතැයි පැවැසේ. පසුව තම මිතුරියක මාර්ගයෙන් හඳුනාගත් කුරුණෑගල ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි යුද හමුදාවෙන් පලා ගිය සෙබළකු සමග පෙම් සම්බන්ධතාවක් ඇතිකරගෙන තිබිණි.


ඒ අනුව ඇය මීට මාස තුනකට පෙර මෙරටට පැමිණීමෙන් පසුව එම අනියම් සැමියා බව කියන 25 හැවිරිදි පුද්ගලයා සමග සමීප ඇසුරක් පවත්වා තිබේ. පසුව මෙම දියණිය තම මවගේ සොහොයුරියක පදිංචි වළගම්බාහුව පයින්ඩිකුලම ගම්මානයේ නිවෙසක අනියම් සැමියා බව කියන තැනැත්තා සමග වාසය කර ඇත. මේ අතරතුර සිය මව එහි පැමිණ බාල දියණියට හා ඇයගේ අනියම් සැමියා බව කියන පුද්ගලයාට තිරප්පනේ පිහිටි තම නිවසේ ජිවත්වන්නැයි ඇරැයුම් කර ඇතැයි ද ඒ අනුව ඉකුත් අප්‍රේල් 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක ඔවුන් දෙදෙනා එම නිවෙසට පැමිණ එහි ජීවත් වී ඇතැයි ද අනාවරණයවී තිබේ.


මේ අතරවාරයේ නිවෙස වටා තාප්පයක් ඉදිකිරීමේ කටයුතු ද ආරම්භ කර තිබේ. එහි අත්වැඩකරුවකු ලෙසද මෙම සැකකාර තරුණයා (අනියම් සැමියා) වැඩකර ඇති බව ද හෙළිව ඇත.


මෙලෙස එකම නිවසේ ජීවත් වන අතරවාරයේ ඔවුන් තිදෙනා අතර නිතර නිතර ආරවුල් හටගෙන ඇතැයි පැවැසේ. ඉකුත් මැයි 11 වැනිදා ද දියණියගේ අනියම් සැමියාට තම නිවෙසින් පිටවන්නැයි මියගිය කාන්තාව පවසා ඇති අතර පසුව ඔහු තමන්ගේ ගම වූ ඉබ්බාගමුවට යන බව පවසා ඔවුන් මීට පෙර පෙසූ පයින්ඩිකුලමේ පිහිටි සැකකාර කාන්තාවගේ පුංචිඅම්මාගේ නිවසට ගොස් තිබේ. ඊට පසු දින සැකකාර දියණිය ද විදෙස්ගතවීමට අවශ්‍ය ගමන් බලපත්‍ර සකසා ගැනීම සඳහා පුංචිඅම්මාගේ නිවෙසට යන බව පවසා නිවසින් පිටව ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ.


පසුදින (12 වැනිදා) රාත්‍රි 07.00ට පමණ කුලී ත්‍රිරෝද රථයකින් පයින්ඩිකුලම සිට තිරප්පනේ නිවෙසට දියණිය පැමිණ ඇත. අනියම් සැමියා ද තිරප්පනේ අවන්හලකින් මත්පැන් පානය කර එදින රාත්‍රියේම මෙම නිවෙසට පැමිණ මෙම ඝාතනය සිදුකර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වූයේ යැයි තිරප්පනේ පොලිසිය සඳහන් කළේය.


ඝාතනයෙන් පසුව මෙම යුවළ බස් රථයකින් දඹුල්ල ප්‍රදේශයට ගොස් එම ප්‍රදේශයේ හෝටලයක ලැඟුම් ගෙන සිට ඇති බවද පොලිසිය පැවැසීය.


පසු දින මවට දුරකථන අමතුමක් ලබාදී ප්‍රතිචාරයක් නොමැති නිසා නිවෙසට පැමිණ බැලීමේදී මව අසනීප තත්ත්වයකින් නිදියහන මත මියගොස් ඇති බවට දියණිය විසින් තිරප්පනේ පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. පසුව ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී පවුලේ ඥාතීන් ලබාදුන් සාක්ෂි පරස්පරවීම හේතුවෙන් මෙය සැක කටයුතු මරණයක් සේ සලකා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබිණි. පසුව පශ්චාත් මරණ පරීක්ෂණයේදී ශරීරයේ කොටස් වැඩිදුර විමර්ශනය සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කර තිබේ.


මේ අතරතුර පොලිසිය ප්‍රදේශයේ සී.සී.ටී.වී. කැමරා පද්ධති පරීක්ෂා කරමින් පුළුල් විමර්ශනයක් සිදු කර ඇත. එහිදී තොරතුරු රැසක් අනාවරණය කරගැනීමත් සමග 32 හැවිරිදි දියණිය, 25 හැවිරිදි අනියම් පෙම්වතා සහ ඔවුන්ට නවාතැන් දුන් පයින්ඩිකුලම ප්‍රදේශයේ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.


ඉකුත් 15 වැනිදා එම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ මියගිය කාන්තාවගේ දේහය තිරප්පනේ පොදු සුසාන භූමියට අවසන් කටයුතු සඳහා රැගෙන යනවාත් සමගිනි.


මියගිය අය ළඟ තිබූ රුපියල් ලක්ෂ 10ක මුදලක් සහ රන් භාණ්ඩ ඝාතනයට පෙර කිසිවකු විසින් ලබාගෙන ඇති බවත් මෙලෙස මුදල් හා රන් භාණ්ඩ ලබාගෙන විදෙස්ගත වීමේ අරමුණින් මෙම ඝාතනය සිදු කළ බවට සැකකාර යුවළ පාපොච්චාරණය කර ඇති බවත් තිරප්පනේ පොලිසිය සඳහන් කළේය.


මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් දියණිය ඇතුළු තිදෙනා අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.


තිරප්පනේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.ඩී.එස්.ආර්.කේ. ජයතිලකගේ මූලිකත්වයෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුසිල් ප්‍රියන්ත, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. විජේකෝන්, පොලිස් සැරයන් දිසානායක (66503), ලක්ෂ්මන් (26378), හේරත් (51602), එදිරිසිංහ (7854), ධනපාල (52211), පොලිස් කොස්තාපල් පානබොක්කේ (81205), කාන්තා පොලිස් සැරයන් ප්‍රියදර්ශනී (2833), නයනා (2428), කාන්තා පොලිස් කොස්තාපල් නදීකා (8450) යන නිලධාරීහු මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරති.

 

More News..