brand logo
logo
දැන් තුවක්කු වෙනුවට බෝම්බ ඇවිත්

දැන් තුවක්කු වෙනුවට බෝම්බ ඇවිත්

15 September 2026


ඉකුත් සිකුරාදා දෙහිවල කව්ඩානේ නිවෙසකට එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් පාසල් ළමුන් දෙදෙනෙක් මියයෑම දැන් පරණ ප්‍රවෘත්තියකි. එහෙත් මේ දරුවන් දෙදෙනා මිය ගියේද, ඔවුන්ගේ පියාට බරපතළ තුවාල සිදුවූයේද ඔවුන් අරබයා එල්ල කළ බෝම්බයකින් නොවීම කවදාවත් පරණ වෙන විදිහේ කතන්දරයක් නොවේ. පාතාලයට සම්බන්ධ යැයි (පොලිසිය) කියන අසල්වැසි නිවෙසක් ඉලක්ක කළ බෝම්බය ඉලක්කය වැරදී අහිංසක පවුලක් විනාශ කර දැමුවේය.


වෙඩි තබා ගැනීමක්, බෝම්බ ප්‍රහාරයක් සිදුවූ වහාම එය අසුවල් පාතාල කණ්ඩායම විසින් ඔවුන්ට එදිරි අසුවල් පිලේ සාමාජිකයන්, නෑදෑ හිතමිතුරන්ගෙන් පළිගැනීමට එල්ල කළ ප්‍රහාරයක් බව පොලිසිය කියා සිටී. පාතාලයේ අලගිය තැන්, මුලගිය තැන් සියල්ල දන්නා බව පෙන්වන්නේ වුවද පොලිසියට ඔවුන් මඬින්නට නම් පුළුවන්කමක් ඇති බවක් නොපෙනේ. පාතාලයේ කුප්‍රකට නායකයන් දුසිම් ගණනින් කුදලාගෙන නොරට සිට මෙරටට ගෙනෙන ජවනිකා කොතෙකුත් ටෙලිවිෂනයෙන් ප්‍රදර්ශනය කළද පාතාලය අඩුවක් නැතුව රටේ සතර දිග්භාගයේම ක්‍රියාත්මකය.


පාතාලයට රටේ ආණ්ඩුවද විළිලැජ්ජා නැතිව යටවී ඇති අන්දම පසුගිය දිනවල දැකගන්නට ලැබුණේය. ඒ දෙවුන්දර පෙරහරෙන් ඉවත් කළ කාවාඩි කණ්ඩායමක් ඊට ඇතුළත් කරගත්තේ නැතොත් දේවාලයේ බස්නායක නිලමේ ඝාතනය කරන බවට කංජිපානි ඉම්රාන් නම් පාතාල නායකයා පිටරට සිට තර්ජනය කළ අවස්ථාවේය. මෙහිදී පොලිසිය සියලු කාවාඩි කණ්ඩායම් ඉවත්කර පෙරහර පැවැත්වීමට සූදානම් වුවද අවසානයේ ආණ්ඩුව මැදිහත් වී කංජිපානි ඉම්රාන්ගේ අනුග්‍රහය ලැබූ කණ්ඩායමට පෙරහරට සහභාගිවන්නට ඉඩ සලසා දුන්නේය.


පසුගිය අවුරුදු පනහකට කිට්ටු කාලයක් තිස්සේ අපේ රටේ රාජ්‍ය නායකයන් පාතාල නායකයන්ට දැක්වූ අනුග්‍රහය රට්ටු අතර ප්‍රසිද්ධය. ජාතික ජන බලවේගය ඡන්ද රැස්වීම්වලදී සිය ප්‍රතිවාදීන්ගේ පාතාල පැටිකිරිය දිගහරිමින් තමන්ගේ ගොඩ වැඩිකර ගත්තේ නැවතත් රට එවැනි අගාධයකට ගෙන නොයන බවට දිවුරා පොරොන්දු වෙමිනි. එහෙත් අන්තිමේදී සිදුවූයේ මේ රටේ කිසිම ආණ්ඩුවක් නොකළ අන්දමින් මේ ආණ්ඩුව පොලිසියේ තීන්දුවට පිටුපා පාතාලයේ ඕනෑ එපාකම් ඉෂ්ට කිරීමට ඉදිරිපත් වීමය.


එක කාලයක් පාතාල ක්‍රියාකාරකම් සිදුවූයේ තුවක්කුවලිනි. එහෙත් අගෝස්තු 5 රත්මලානේදීද, අගෝස්තු 23 රැල්ලේදීද, සැප්තැම්බර් 9 කළුබෝවිලදීද, සැප්තැම්බර් 11 ⁣කවුඩානේදීද සිදුවූ සියලු ප්‍රහාර සිදුවූයේ බෝම්බවලිනි. ඒ අහම්බයකින් නොවේ.


මේ කාලයේ පාතාලය සතුව ඇති තුවක්කු දේශීය නිෂ්පාදනවලට සීමාවී ඇති නිසා මෙසේ බෝම්බ භාවිත කරන බව කියනු ලැබේ. හැරත් අද වන විට රුපියල් දහදාහේ සිට විසිදාහ දක්වා වැනි අඩු මිලකට බෝම්බ මිලදී ගත හැකිවීම නිසාද ප්‍රහාර සඳහා බෝම්බ යොදාගැනීම වැඩිවී තිබේ. හමුදා සේවය හැරගිය පිරිස් ඒ කාලයේ සුරක්ෂිතව සඟවා තැබූ බෝම්බ මේ අන්දමින් ⁣ආයුධ වෙළෙඳපොළට පැමිණ ඇතැයි විශ්වාස කෙරේ.


නැවතත් දෙහිවල, කවුඩානේ දරුවන් දෙදෙනාට සිය ජීවිතද, ඔවුන්ගේ පියාට එක කකුලක්ද අහිමි කළ බෝම්බය ගැන කතා කළහොත් එය තවත් පාතාල ක්‍රියාවක් හැටියට සිය මාධ්‍ය ප්‍රකාශක ලවා කියවා අත හෝදා ගැනීමට පොලිසියට ඉඩ නොහල යුතුය. විද්දේ හාවාට වැදුණේ පඳුරට යැයි කීම වැඩි අමාරුවක් නැත. එහෙත් එය මුළු ශ්‍රී ලාංකීය ජන සමාජයටම එල්ල කළ බෝම්බ ප්‍රහාරයක්ය යන වගකීමෙන් නිදහස් වීමට වගකිවයුත්තන් කිසිවකුටත් පුළුවන්කමක් නැත.


මේ සිද්ධියට මුහුණ පෑවේ කිසිදු සමාජ ප්‍රාග්ධනයක් නැති අහිංසක, දිළිඳු පවුලක් වීම නිසා ඒ ගැන සිදුවිය යුතු බරපතළ කතාබහ රටේ ඇති නොවීමේ පුදුමයක් නැත. එහෙත් මෙයින් පෙනී ගියේ රටේ ඕනෑම නිවෙසකට, ඕනෑම පවුලකට ඔවුන්ට එල්ල වූ බෝම්බ ප්‍රහාරය එල්ලවීමේ අවදානමක් ඇති තරමට පාතාලය වර්ධනය වී තිබෙන බවය. පාතාලය ගැන සියල්ල දන්නා පොලිසියත්, පාතාල ග්‍රහණයට හසුවූ දේශපාලනඥයන්ගෙන් රට ගලවා ගැනීමට පැමිණි ආණ්ඩුවත් ඒ ගැන කතා නැත.


මේ දිනවල ආණ්ඩුව රටට තමන් කළ වැඩ කොටස වර්ණනා කරමින් රට පුරා රැස්වීම් පවත්වන්නට පටන්ගෙන තිබේ. එහෙත් දැන් අප ජීවත්වන්නේ බියක් නැතිව තමන්ගේ ගෙදර පවා ජීවත්විය නොහැකි, සැකයකින් තොරව පාරේ පයින්වත් ඇවිදගෙන යා නොහැකි රටක බව හංගන්නට කාටවත් බැරිය. එය ජාජබ දේශපාලන වේදිකාවේදී පොරොන්දු වූ ලස්සන ජීවිතය නම් නොවේ.

 

More News..