brand logo
logo
දියවන්නා ඔයේ ජල දූෂණය පාලනය සඳහා වන ජාතික වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කිරිමට උපදෙස්

දියවන්නා ඔයේ ජල දූෂණය පාලනය සඳහා වන ජාතික වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කිරිමට උපදෙස්

02 September 2026

දියවන්නා ඔය සහ පාර්ලිමේන්තු පරිශ්‍රය අවට ජල දූෂණය පාලනය කිරීම සඳහා සකස් කර ඇති ජාතික මට්ටමේ වැඩපිළිවෙළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.


යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්ව ඇති අතර, දියවන්නා ඔයේ ජලය දුර්වර්ණ වීම සම්බන්ධයෙන් පත් කළ කාර්යසාධක බලකායේ අවසන් වාර්තාව එහිදී සලකා බලා ඇත.


මෙම වාර්තාව මගින් දියවන්නා ඔය සහ පාර්ලිමේන්තුව ආශ්‍රිත ජල පද්ධතියට ගෘහස්ථ අපජලය, වාණිජ හා කාර්මික අපද්‍රව්‍ය එක්වීම ප්‍රධාන දූෂණ මූලාශ්‍ර ලෙස හඳුනාගෙන ඇති අතර, ඒ සඳහා කෙටි, මධ්‍යම හා දිගුකාලීන අදියර තුනකින් යුත් කළමනාකරණ සැලැස්මක් යෝජනා කර තිබේ.


ඒ අනුව, අපද්‍රව්‍ය සෘජුව ජල මාර්ගවලට එක්වන ස්ථාන හඳුනාගෙන පාලනය කිරීම, ඝන අපද්‍රව්‍ය ජල මාර්ගවලට එක්වීම වැළැක්වීම, අපජල පිරිපහදු පද්ධති ස්ථාපනය කිරීම සහ ජලයේ ගුණාත්මකභාවය අඛණ්ඩව අධීක්ෂණය කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත.


එමෙන්ම, අඩු ආදායම්ලාභී ජනාවාසවල සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම, නීති විරෝධී ලෙස අපද්‍රව්‍ය බැහැර කරන පුද්ගලයන් හා ආයතන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සහ අදාළ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී අවධාරණය කෙරිණි.


මෙම වැඩපිළිවෙළ ජාතික ප්‍රමුඛතාවක් ලෙස සලකා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී අවධාරණය කෙරිණි.

 

More News..